සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව කටයුතු නොකරන පෞද්ගලික බස්රථවල මාර්ග ගමන් බලපත්‍රය අවලංගු කර නිරෝධායන නීතිය යටතේ දඬුවම් කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.  මේ වන විට බස්නාහිර පළාතේ ආසන ගණනට මගීන් පටවාගෙන බරථ ධාවනය සිදුවන අතර ඊයේ (24) වන විට බස්රථ 2304ක් පමණක් ධාවනය වී ඇතැයි එහි සභාපති ඕ. ඩබලිව්. ප්‍රසන්න සංජීව මහතා  ඊයේ (14) පැවසීය. 


මෙම ධාවනය වන මුළු බස්රථ සංඛ්‍යාව 5000කට ආසන්න බව ද ඔහු කීය.  කොවිඩ් 19 සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට පටහැනිව අධික ලෙස මගීන් පටවාගෙන ධාවය වූ මාර්ග අංක 441 දරන අලුත්ගම-මතුගම පෞද්ගලික බසයක් පෞද්ගලිකවම පරික්ෂාවට ලක්කර එහි ගමන් වාර ඊයේ (14) දිනය තුළ අත්හිටුවා තදින් අවවාද කළ බව ද හෙතෙම සඳහන් කළේය. පෞද්ගලික බස්රථ සේවකයන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද  උල්ලංඝණය කරන්නේ ද යන්න බස්රථවල නැගී ගමන් කරමින්  අදාළ පරික්ෂාවන් සිදු කරන බව ද ඔහු කීවේය.


-ජයන්ත සමරකෝන්-