COVID-19 රෝගීන් ගමන් කර ඇති බවට මෑතකදී අනාවරණය වූ බස්රථ හයක් (06) ප්‍රවාහන අමාත්‍යාංශය විසින් හඳුනාගෙන තිබේ.

රෝගීන් කොළඹ සිට මැදගම දක්වා එන්.ඩී 4890, මාකුඹුර සිට ගාල්ල දක්වා එන්.ඩී 2350, අම්බලංගොඩ සිට කඩවත දක්වා එන්.ඩී 5491 කොළඹ සිට යාපනය දක්වා 6503, ඇල්පිටියේ සිට කොළඹ දක්වා එන්.ඩී. 7588 සහ ගාල්ලේ සිට කඩවතට එන්.එෆ්. 7515 .

කඳාන විදුලි පෞද්ගලික සමාගමේ සේවය කරමින් සිටිය දී කොරෝනා  ආසාදනය වූ බවට තහවුරු කරගත් ගාල්ලේ පදිංචි පුද්ගලයා සති  අන්තයේ තම නිවසට පැමිණෙද්දී පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කර  ඇති බැවින් එම බස් රථවල ගමන් ගත් පුද්ගලයන් ළගම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ තම කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරික්ෂවරයා හමුවට හෝ පැමිණෙන ලෙස ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉල්ලා සිටියි.  කඩවත සිට පසුගිය 3 වැනිදා සවස 6.00ට ගමන් ආරම්භ කළ අධිවේගී මාර්ග බස් රථයකින් මෙම ආසාදිත පුද්ගලයා ගාල්ල නගරයට පැමිණ තිබේ. ඉන් පසු ගාල්ල බස් නැවැතුමේ මද වේලාවක් රැඳී සිටි  ඔහු රාත්‍රී 8.30ට බද්දේගම දක්වා ගමන් ආරම්භ කළ ගමනාගමන මණ්ඩලයේ බසයකින් ගමන් කළ බවත් එම බසයේ විශාල සෙනගක් අතර තෙරපෙමින් ගමන් කළ බවත් හෙතෙම පවසා ඇත.

පෝද්දල මංසන්ධියේ දී බසයෙන් බැසගත් හෙතෙම නිවසේ කාලය ගත කර ඇති අතර තම දරුවන් උපකාරක පන්ති රැගෙන යාම ඇතුළු 

කාර්යයන් සඳහා පෞද්ගලික මෝටර් රථය භාවිත කර තිබේ. ඉන් අනතුරුව පසුගිය 6 වැනිදා උදෑසන  6.00ට පමණ ආපසු කොළඹ යාමට  පොද්දල හන්දියට පැමිණි ඔහු බද්දේගම සිට පෝද්දල හන්දියට 6.30ට පැමිණි බසයකින් ගාල්ල දක්වා පැමිණ තිබේ. මෙම බසයේ ද විශාල  පිරිසක් ගමන් ගත් බව හෙතෙම පවසයි.

මේ බසයේ ද ගාල්ල දක්වාම ඔහු ගමන් කර ඇත්තේ අසුනක් නොමැතිවය. ඉන් අනතුරුව ගාල්ලෙන් උදෑසන 8.00ට කඩවත දක්වා පිටත් වූ අධිවේගී මාර්ග බසයක ඔහු ගමන් කර තිබේ. මෙම ආසාදිතයාගේ පුත්‍රයකු ද පසුගිය දිනවල අධිවේගී මාර්ගය ඔස්සේ බසයකින් කොළඹ ගොස් ආපසු පැමිණ ඇත. ඔහු මේ වනවිට  නිරෝධායනයට යොමු කර තිබෙන අතර පී.සී.ආර්. පරීක්ෂණය ඊයේ  (14) සිදුකිරීමට නියමිත විය.  සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ ආසාදනය වී සිටින මෙම පුද්ගලයා ගමන් ගත් අදාළ බස්රථවල එම මොහොතේ සිටි පුද්ගලයන් හඳුනා ගැනීම ඉතාමත් අපහසු කරුණක් වී ඇති බවයි. එබැවින් තමන් මෙම  වේලාවන්හි අදාළ බස්රථවල ගමන් කළේ නම් වහාම ඒ පිළිබඳ සෞඛ්‍ය  අංශ දැනුම්වත් කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු ඉල්ලා සිටිති. 

මේ අතර වඳුරඹ පදිංචි ආසාදිත කාන්තාව ගමන් ගත් මාපලගම  බසය ධාවනයෙන් ඉවත් කර ඇතත් එම බසයේ ගමන් ගත් පිරිසක් සෞඛ්‍ය අංශ වෙත මෙතෙක් ඉදිරිපත් වී නැත. වටරැකට පැමිණ සිටිය දී ආසාදිත බව දැනගත් කාන්තාව පසුගිය 4 වැනිදා උදෑසන කඩවත  සිට ගාල්ලට පැමිණි අධිවේගී මාර්ග බසයේ ආ කිසිවකුත් පෙරේදා (13) දක්වාම සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් වී නැත. මේ අනුව කොරෝනා වයිරසය ශරීරගත වූ පිරිස් ගාල්ල දිස්ත්‍රික්කයේ බාහිර සමාජය තුළ සිටිය හැකි බැවින් සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි. 



-සිරංගිකා ලොකුකරවිට-