කෝවිඩ්-19 තත්ත්වය පළමු අදියරේදී පාලනය කිරීමෙන් පසු දෙවැනි අදියර පිළිබඳ ආණ්ඩුව මුළුමනින්ම අතහැර දමා කටයුතු කළ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ආණ්ඩුව බලය වෙනුවෙන් මැතිවරණ පැවැත්වීම, ව්‍යවස්ථා සංශෝධන කෙරෙහි අවධානය යොමුකිරීම හැර දෙවැනි අදියරේ කෝවිඩ්-19 අනතුරක් ගැන යොමු නොකළ බවද එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. කෝවිඩ්-19 පළමු අදියරේදී වෛද්‍යවරුන් සහ රෝහල් කාර්යමණ්ඩල ගොදුරු නොවූ බවත්, රෝහල් වාට්ටු වසා නොදැමූ බවත් ඒ මහතා පවසා සිටියේය.


මීට අමතරව පළමු අදියරේදී මෙතරම් විශාල ලෙස රෝගීන් වාර්තා නොවූ බවත්, එහෙත් දෙවැනි අදියරේදී එක් දිනකදී රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වන බවත් හෙතෙම සඳහන් කළේය.

කෝවිඩ්-19 තත්ත්වය නිසා වසා දමා තිබෙන ගම්මානවල ජනතාවගේ ආදායම අහිමි වී තිබෙන බවත්, ඔවුන්ට අවශ්‍ය සහන ලබාදීමට ආණ්ඩුව අසමත් වී තිබෙන බවත් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේය.

ආණ්ඩුවට රුපියල් කෝටි දෙසියයකට ආසන්න කෝවිඩ්-19 අරමුදලක් තිබෙන බවත්, මීට අමතරව විදෙස් සංවිධානවලින් රුපියල් කෝටි අටදහස් දෙසියයක් පමණ ලැබී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ නිසා ආදායම අහිමි වී තිබෙන ජනතාව ශක්තිමත් කිරීමට හා රෝගීන් හඳුනා ගැනීමට සිදුකරන පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රමාණය ඉහළ දමා ජනතාව සුරක්ෂිත කිරීමට හා සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට, ආරක්‍ෂක අංශවලට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බවද දිසානායක මහතා පැවසීය.

- එච්.අයි. තුෂාර -