මහනුවර බෝගම්බර පැරැණි බන්ධනාගාර පරිශ්‍රයේ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටි රැඳවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනකුට පහරදී පලා යෑමට දැරූ උත්සාහයක් එහි නිලධාරින් කණ්ඩායමක් විසින් වෙඩි තබා පෙරේදා (12) රාත්‍රී 10.30 ට පමණ ව්‍යර්ථ කරනු ලැබිය. 

මේ සිද්ධිය නිසා එම බන්ධනාගාර පරිශ්‍රය පෙරේදා රාත්‍රියේ එකම යුද පිටියක් බවට පත්විය. මේ අවස්ථාවේදී රැඳවියන්ගේ පහර කෑමට ලක්වූ බන්ධනාගාර නිලධාරියකු මහනුවර රෝහලට ඇතුළත් කළ බව මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක තුසිත හලංගොඩ මහතා පැවැසීය.

බන්ධනාගාර නිලධාරීන්ට පහරදී මෙසේ පලා යෑමට උත්සාහ දරා ඇත්තේ එම බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටි මත්ද්‍රව්‍ය හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ රැඳවියන් පිරිසකි.

රැඳවියන් පලා යෑමට උත්සාහ දැරූ අවස්ථාවේදී

එහි නිලධාරින් වහා ක්‍රියාත්මකවී බලවත් පරිශ්‍රමයක් දරා රැඳවියන් මෙල්ල කර සිරමැදිරිවලට නැවත දැමීමට පියවර ගෙන ඇතැයි කියති. 

සිද්ධිය සැලවීමත් සමඟ මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීහු පිරිසක්ද එම බන්ධනාගාරයට පැමිණ ඒ අවට ප්‍රදේශයට ආරක්ෂාව සැපයීමට පියවර ගත්හ. මධ්‍යම දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, මහනුවර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක තුසිත හලංගොඩ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද එහි බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු පිරිසක් ද මේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ මෙහෙයවති.


- සුජිත් හේවාජුලිගේ