ඉන්දියාවේ නව දිල්ලි නුවර වාසය කරන වයස අවුරුදු 18ක් වන චේතන්‍යා වෙන්කටේෂ්වරන් පෙරේදා (11දා) දිනයේදී එක් දවසක් සඳහා ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය ලෙස පත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මගින් පවත්වන තරඟයක් වෙත සහභාගිවී ඉන් ජයගැනීමත් සමගින්ම ඇයට මෙම අවස්ථාව උදා වී තිබේ.


"High Commissioner for a Day” ලෙස 2017 වසරේදී ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය මඟින් මෙම තරඟය ආරම්භ කර තිබේ. ඔක්තෝම්බර් 11 වැනිදාට යෙදෙන ගැහැණු ළමයින් සඳහා වන ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් මෙය සංවිධානය කෙරෙයි.

ඒ හරහා අවුරුදු 18ත් 23ත් අතර වයසේ පසුවන ඉන්දියානු තරුණියන්ට ලෝක නායකයෙකු බවට පත්වීම සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව උදාකරදීම අරමුණ වී තිබේ. ඒ අනුව මේ වසරේදී එම තරඟයෙන් ජයගත් චේතන්‍යා ඊයේ (ඔක්තෝබර් 12දා) දිනයේ මෙලෙස දිනයකට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය බවට පත්වූවාය.

මෙම තරඟය සඳහා යම් කරුණක් සම්බන්ධව කෙටි වීඩියෝවක් ඉදිරිපත් කළ යුතුව තිබූ අතර, චේතන්‍යා පසුගිය සැප්තැම්බර් 12 වැනිදා එය මහකොමසාරිස් කාර්යාලය වෙත යවා තිබුණි. එහිදී COVID-19 වසංගතය හමුවේ ලෝකය මුහුණදෙන අභියෝග සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ අවස්ථාවන් පිළිබඳව කතාකර තිබේ.