රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ සොහොයුරා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි ප්‍රකාශයක් කිරීම සුදුසු නැති බවත් දේශපාලනඥයන් මෙන් මාධ්‍ය සංදර්ශන පවත්වන පොලිස් නිලධාරීන් ගැන ද සොයා බලන බවත් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවසීය.  රාජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවැසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු  ලැබූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (ස.ප.බ.) ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය. චමල් රාජපක්‍ෂ මහතා මෙසේද කීය.

“ඒ ප්‍රශ්නය අහපු එක හොඳයි. ඔය කියන  පුද්ගලයන් සමග ආණ්ඩුවට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ කටයුතු සිදුවෙලා තියෙන්නේ  පොලිසියේ රාජකාරි ක්‍රමවේදය අනුවයි. මේ සිද්ධියට දස දෙනකු අත්අඩංගුවේ සිටියා. මේ  අයගෙන් කිහිප දෙනකු මේ වනකොට නිදහස් වෙලා තියෙනවා. ඒ සිද්ධියට සම්බන්ධ අදාළ තොරතුරු නැති නිසා. නීතිපති උපදෙස් අනුව  කටයුතු කරන අයත් ඉන්නවා. ඒ වගේම සැකකරුවන් මුදාහැරපු අවස්ථාවලුත් තියෙනවා. ඔය කියන පුද්ගලයා 2019.04.21 දින සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ පිපිරිම කළ ඉන්සාෆ් මොහොමඩ් සමග පැවැත්වූ ඇමතුම් හතක සම්බන්ධතාව මත  අත්අඩංගුවට ගෙන තියෙනවා. ඉන්පසුව ඔහු ත්‍රස්ත පනත යටතේ දින තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබුවා. ඊට පසුව මාස හයක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කළා. මොහු එම බෝම්බ පිපිරවීමට සම්බන්ධවී ඇති බවට හෝ සහභාගී වී ඇති බවට හෝ ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධවී ඇති බවට හෝ ඒ විමර්ශනවලදී කරුණු අනාවරණය වී නැහැ.

එබැවින් රැඳවුම් නියෝග අවලංගු කිරිම සඳහා ලිපි ලේඛන සකස් කර 2020.09.28 දින ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කළා. 

29 වැනිදා සැකකරු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර නිදහස් කරලා තියෙනවා.මේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට  වෙනමම ඒකකයක් ක්‍රියාත්මක වෙනවා. ඒ අය  සියලුම දුරකතන ඇමතුම් අරගෙන තියෙන්නේ අදාළ අමාත්‍යංශයෙන්. අවසාන වතාවට දුරකතන ඇමතුම් ලබාගෙන තියෙන්නේ මාස තුනකට පෙරයි. ඒ ව්‍යාපාර කටයුතු සදහා. මේ පුද්ගලයා  නිදහස් කළේ ඍජු සාක්ෂි නැති නිසයි. නිදහස් කළා කියලා ඒක නිරිදෝෂීභාවය නොවෙයි.  පොලිසිය තවදුරටත් මේ ගැන සොයා බලාගෙන යනවා. විමර්ශන නතර කරලා නැහැ. සමහර  වෙලාවට ඉදිරියේදී තව තව අය අත්අඩංගුවට ගන්න පුළුවන්." 

චමින්ද විජේසිරි මහතා:

“මේ සිද්ධියට ඒ පුද්ගලයාගේ සම්බන්ධයක්  තිබෙන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මුලින්

ප්‍රකාශ කළා. දැන් ඔහු කියනවා සාක්‍ෂි නැති නිසා  නිදහස් කළා කියලා. මොකක්ද මේ පරස්පරය. ඒ ගැනත් සොයා බලනවාද? මේ නිලධාරීන් ගැන ක්‍රියාමාර්ග ගන්නවාද?"

චමල් රාජපක්‍ෂ මහතා:

“සාමාන්‍යයෙන් පොලීසියට කුමන හෝ තොරතුරක් ලැබුණාම යම් යම් අය අත්අඩංගුවට

ගෙන ප්‍රශ්න කරනවා. කෙසේ වෙතත් අවසන් තීරණය ගන්නේ ඒ සියලු තොරතුරු තහවුරු කරගැනීමෙන් පසුවයි. සමහර අය අත්අඩංගුවට ගත්තට පස්සෙ චෝදනාවක් නැත්නම් නිදහස්

කරනවා. ඒක තමයි සිදුවන ක්‍රමවේදය. සමහරුන් මාස දෙක තුන රිමාන්ඩ් බාරයේ තියාගෙන ඉන්නවා. අන්තිමට නඩු නැහැ. නමුත් ඒකෙන් සතුටට පත්වන්නේ පැමිණිලිකාරයො විතරයි.  එතැනදී චෝදනාවට ලක්වන අයට, ඒ අයගේ පවුලට ලොකු අසාධාරණයක් වෙනවා. මේ වගේ දේවල් වෙනවා. ඔය පුද්ගලයා නිදහස් කිරීම ගැන දැන් අලුත් විමර්ශනයක් පැවැත්වෙනවා අලුත් අධ්‍යක්‍ෂවරයා යටතේ. 

නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කරල  මේ සිද්ධිය ගැනම නැවත වරක් පරික්ෂණ කරගෙන යනවා. හැමෝටම සාධාරණයක් වෙන්න ඕන. එහෙම නැතිව ඩීල් එකක් නොවෙයි.  දැන් බලන්න ගිය පාර දහනව වැනි සංශෝධනය ගෙනාවා. ඒ අවස්ථාවේදී එෆ්.සී.අයි. ඩී. කියලා එකක් හැදුවා.

කවුද අත්අඩංගුවට ගත්තෙ. මාස තුන හතර රිමාන්ඩ් බාරයේ තබාගෙන හිටියා. නඩු පැවරුවද? නැහැ. ඒකෙන් අත්අඩංගුවට ගත් අයට නින්දාවක්, අපහාසයක් වුණා. සිදුවුණේ මානසික වේදනාවක් දීපු එක විතරයි. තොරතුරු නැත්නම් රඳවාගෙන සිටීමෙන් ප්‍රශ්න ඇති වෙනවා. එහෙම වුණොත් ඒ අය මානව හිමිකම්වලටත් යාවි. ඕන නම් එෆ්.ආර්. එකක් දැම්ම නම් ඇප ගන්න තිබුණා. කිසිවකුටත් අසාධාරණයක් විය යුතු නෑ. මිනිස්සු අවිශ්වාස කරන්න පුළුවන්. දැන් ඔය නඩු තියෙන්නේ, අන්තිමේදී වරදකාරයා මෝල්ගහ. එහෙම නැත්නම් වචනය. ගොයම් කොළේ තර්කයකුත් තිබුණා.

නමුත් කාටවත් මේ චෝදනාවලින් නිදහස් වෙන්න ඉඩ තබන්නේ නැහැ. මොකද  තමුන්නාන්සේලා දරන මතයම තමයි අපි දරන්නෙත්. මොහු ගැන තව සාක්‍ෂි තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඔබතුමාට තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. අදම දෙන්න. මොහු මුදාහැරියා විතරයි. තවම විමර්ශන යනවා. සාක්‍ෂි ආවොත් ආපහු අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වන්න පුළුවන්.    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහෙම කතා කිරීම සුදුසු නැහැ. ඔහු ඒ ප්‍රකාශය කරන්න ඕන පරික්ෂණ අවසන් වෙලයි. සමහර පොලිස් නිලධාරින් දේශපාලනඥයන් වගේ මාධ්‍ය සංදර්ශන දානවා. එහෙම කටයුතු කරන නිලධාරින් ගැනත් හොයනවා.”