කඩුවෙල සිට පිටකොටුව දක්වා ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ජාතික අපරාධයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මෙම ව්‍යාපෘතිය නතර කිරීමට හේතුව ඉදිරියේදී හෙළි කරන බව කොළඹ විපක්‍ෂ
නායක කාර්යාලයේ ඊයේ (04දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.


සමගි ජන බලවේග රජයක් යටතේ මෙම ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන බව සඳහන් කළ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා, "ආණ්ඩුව කැබිනට් මණ්ඩලයේදී තීරණය කරලා තියෙනවා කඩුවෙල සිට පිටකොටුව දක්වා යෝජිත සැහැල්ලු දුම්රිය වනපෘතිය නතර කරන්න. ඒ සඳහා ඔවුන් කරුණු 5ක් පෙන්වා දී තිබෙනවා, ඒ නතර කිරීම සාධාරණීකරණය කරන්න.

මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට එන්න කලින් බිම මත යන සැහැල්ලු දුම්රිය වපෘතියක් තිබුණා කියලා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව එම ව්‍යාපෘතිය අවලංගු කරලා කණු මතින් දිව යන ව්‍යාපෘතියකට ක්‍රියාත්මක කරනවා කියලා ඒකේ සඳහන් වෙනවා. ඒක අසත්‍යක් කියලා අපි කියනවා. මේකත් අර අර්ජුන් මහේන්ද්‍රන් කනෙන් ඇදගෙන ගේනවා කිව්වා වගේ, සහරාන්ගේ ප්‍රහාරය පිටුපස ඉන්න දේශපාලනඥයන්ට දඬුවම් දෙනවා කිව්වා වගේ, එම්.සී.සී. ගිවිසුම ඉරා දමලා රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර

ගන්නවා කිව්වා වගේ මේක තවත් ජීවමාන බොරුවක්. ඒ වගේම කියලා තියෙනවා මේ නිසා දැවැන්ත පරිසර හානියක් වෙනවා කියලා. ඉතින් කාට වුණත් තේරුම් ගන්න පුළුවන් කණු මතින් දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරනවා කිව්වම පරිසර හානියක් සිදු වෙනවාද කියලා.


ඊළඟට ආණ්ඩුව කියනවා පිරිවැය ගැන. මුලින්ම මම කියන්න ඕන මේ පිළිබඳ තියෙන්නේ ඇස්තමේන්තුවක්. මේ ව්‍යාපෘතියේ මූලික වියදම ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 2,200ක් පෙන්වලා ඒක අර කිලෝමීටර් ගාණින් බෙදලා මේක විශාල වියදමක් කියලා අදහස් පළ කරන අය ඉන්නවා. මේ ව්‍යාපෘතියේ මූලික පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,374යි. ඒකෙන් මේ පාරක් හදනවා නෙවෙයි. මේක දුම්රිය මාර්ගයක්.

ඒ අනුව දුම්රිය මැදිරි සහ ඊට අදාළ අනුශාංගික උපකරණවලට ඇමෙරිකානු ඩොලර් මිලියන 260ක් යනවා. ඊළඟ කාරණය තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ විදුලියෙන්. ඒ අනුව විදුලි පරිපථ, මෙහෙයුම් මැදිරි වැනි දේවල් සඳහා යනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක්. ඒක අපට ප්‍රයෝජනවත් වෙනවා. මේ ජපන් තාක්‍ෂණයට පයින් ගහලා ජනතාවට බොරු කියලා මේ උත්සාහ කරන්නේ වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න” යැයිද සදහන් කළේය.

- දිනේෂ් සමරකෝන් -