කොරෝනා වෛරසය ආසාධනය වූ බවට හදුනා ගෙන ඇති ආසාධිතයෙකු හලාවත – අඹකදවිල ගම්මානයෙන් 08 වැනිදා දහවල් හමු වී ඇත.

හලාවත මහා රෝහලට වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පසුගිය 06 වැනිදා මෙම අය පැමිණ ඇත.එම අවස්ථාවේ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රතිඵල 08 වැනිදා ලැබීමෙන් අනතුරුව ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත.

ඒ අනුව නිවසේ රැදී සිටි එම අයව වහාම ගිලන් රථයකින් හලාවත මහා රෝහලට ගෙනවිත් ප්‍රතිකාර සදහා ඉරණවිල පිහිටි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට යොමු කර ඇත.


මෙම ආසාදිතයාගේ සමීපතයින් සොයා සෞඛ්‍ය නිලධාරීන් 08 වැනිදා දහවල් සිට අඹකදවිල සහ අවට මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර එම ආසාදිතයා ප්‍රදේශයේ දේවස්ථානයක සමීපතයෙකු ලෙසට හදුනා ගෙන ඇත.ඒ අනුව එම දේවාස්ථානයේ පියතුමන්ලා දෙදෙනෙකු ඇතුළු පවුල් 05 ක පිරිස් මේ වන විට ස්වයං නීරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

ආසාදිතයා ඇතුළු පිරිසක් පසුගිය සතියේ විනෝද සවාරියක් ගොස් ඇති බව හෙළි වී ඇති හෙයින් සවාරියට එක්ව ඇති පිරිස සම්බන්ධයෙන්ද සෞඛ්‍ය නිලධාරීන්ගේ අවදානය යොමු වී ඇත.

(ජුඩ් සමන්ත)