බ්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවකයින් හත්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු තහවුරු වී තිබේ.

ඔවුන් සියලුදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කම්හලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අංශ හදුනාගෙන ඇත.


ඒ අනුව නිරෝධායනය වෙමින් සිටි මෙම පුද්ගලයින් පිරිස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ මගින් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර  සදහා රෝහල් ගත කර තිබේ.

එම ආසාදිතයින්ගේ සහකරුවන් වෛද්‍යවරියන්, බැංකු නිලධාරීන් සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් වන බවට තොරතුරු වාර්තාවේ.

‌මින් එක් ආසාදිතයෙකුගේ බිරිය දකුණු ශික්ෂණ (කළුබෝවිල) රෝහලේ වෛද්‍යවරියක් වන අතර, ඇය මේ වන විට ප්‍රසූත නිවාඩු ලබා සිටියි.

එමෙන්ම අදාළ ආසාදිතයා පසුගියදා පැවැති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ද ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අරුණ අප බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොළඹ කොල්ලුපිටියේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් කළ විමසීමකදි එහි ප්‍රකාශකවරයා සදහන් කළේ පස්වරු 1.00 පමණ වන විට මේ පිළිබද වැඩිදුර තොරතුරු අප වෙත ලබාදීමට කටයුතු කරන බවයි.