නව කොරෝනාව හෙවත් COVID-19 වෛරසය එය ආසාදනය වන රෝගීන්ගේ  මොළයේ ක්‍රියාකාරීත්වයට යම් හානි කිරීමක් සිදුකරන බව වෛද්‍ය විශේෂඥයන් පවසා සිටියි. ඒ අනුව මෙම වෛරසය ආසාදනය හේතුවෙන් එම රෝගීන් තුළ මානසික ආබාධ හටගැනීමේ වැඩි හැකියාවක් පවතින බවත් ඔවුන් පෙන්වා දෙයි.

ලන්ඩන් නුවර ඉම්පීරියල් කොලේජ්හි වෛද්‍යවරයෙකු වන ඇඩම් හැම්ප්ෂයර් ඇතුළු කණ්ඩායමක් සිදුකළ අධ්‍යයනයක් හරහා මෙම කරුණු අනාවරණය කර තිබේ. ඒ අනුව COVID-19 වෛරසය හේතුවෙන් එය ආසාදනයවන ඇතැම් පුද්ගලයන්ගේ මොළය වසර 10කින් පමණ වයසට යන බව

හඳුනාගෙන තිබේ. 

මෙහිදී ඔවුන් වෛරසය ආසාදනය වූ බ්‍රිතාන්‍ය ජාතිකයන් 84,000කට අධික පිරිසගේ වෛද්‍ය වාර්තා පිළිබඳව අධ්‍යයනය කර ඇත. ඔවුන් මෙය 'Great British Intelligence Test' ලෙස නම් කර ඇත. ඒ අනුව මෙම වෛරසය ආසාදනය වී එය දරුණු අතට පත්වන රෝගීන් තුළ මාස ගණනාවක් යන තුරුම බුද්ධියේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වන බව ඔවුන් පවසා සිටියි.

"අපේ අලුත්ම විශ්ෙල්ෂණය තමයි මේ COVID-19 වෛරසය නිසා මොළය වෙත හානි සිදුවෙලා එය බුද්ධිය වෙත හානි සිදු කරනවා කියන එක. එතැනදී මේ වෛරසය ආසාදනය වෙලා සුව වූවන්, තවදුරටත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන්ද ඇතුළුව මෙවැනි ආකාරයට කැපීපෙනෙන ලෙස බුද්ධියේ යම් දුර්වලතා පෙන්නුම් කර තිබෙනවා." මෙම පර්යේෂකයන් සඳහන් කරයි.

සාමාන්‍යයෙන් බුද්ධි තත්ත්වය පිළිබඳව සිට කරන පරීක්ෂාවලදී යම් වචන මතකයේ තබා ගැනීමේ හැකියාව මෙන්ම,ප්‍රහේලිකාවක තිත් එකිනෙක යා කිරීමේ හැකියාව යනාදිය පිළිබඳව සලකා බැලෙයි. මෙම පරීක්ෂණ වැඩි වශයෙන්ම ඇල්ශේමියර් රෝගය වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වූවන් සම්බන්ධයෙන් සිදු කරයි. ඒ හරහා වෛද්‍යවරුන්ට තාවකාලිකව මොළයේ ඇති වන බාධා පිළිබඳව හඳුනාගත හැකිය.