COVID-19 යනු අධික ලෙස බෝවන ශ්වසන රෝගයකි. සංවෘත හා ජනාකීර්ණ ගෘහස්ථ ස්ථානවලදී, එළිමහනට සාපේක්ෂව එය පැතිරීමේ වැඩි අවදානමක් පවතින බව වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් අවධාරණය කරයි.
විශේෂයෙන්ම නැවුම් වාතය ගලායන ස්ථානයක නම් වෛරස අංශු තනුක කර විසුරුවා හැරීමක් සිදුවන නමුත් සංවෘත හා ජනාකීර්ණ ගහස්ථ ස්ථානවල මෙම තත්ත්වය බොහෝ සෙයින් අඩු බව ඔවුන් පෙන්වා දෙයි.



ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, නව කොරෝනා වෛරසය මූලික වශයෙන් සම්ප්‍රේෂණය වන්නේ ආසාදිත පුද්ගලයෙකු සමඟ සෘජුව හෝ සමීපව සම්බන්ධ වීමෙන් පැතිරෙන ජල බිඳිති මඟිනි. මෙම වෛරසය ඉසිරුණු පෘෂ්ඨයන් සමඟ වක්‍රව සම්බන්ධ වීමෙන්ද සම්ප්‍රේෂණය සිදු වෙයි.

කාර්යාලය, අවන්හල්, ජිම් සහ රාත්‍රී සමාජශාලා වැනි දුර්වල වාතාශ්‍රයක් සහිත ජනාකීර්ණ ගෘහස්ථ ස්ථාන තුළ වාතය හරහා සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බවද මේ වනවිට හඳුනාගෙන ඇත. කෙසේ වෙතත් එවැනි සංවෘත සැකසුම් තුළ ආසාදන අවදානම අවම කිරීම සඳහා පියවර ගණනාවක් ගත හැකි බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි.

වේවා හැකි සෑමවිටම ජනෙල් සහ දොරවල් විවෘතව තැබීමෙන් ඒ තුළ වූ වාත්‍රාශය වැඩිදියුණු කළ හැකි බව ඔවුන් සඳහන් කරයි. එසේම ගොඩනැගිල්ල තුළ වායු සමීකරණයක් පවතී නම් එමඟින් වාතය පිරිසුදු වීමක් සිදුවුවත්, අදාළ පද්ධති හොඳින් නඩත්තු කිරීමක් හෝ පිරිසුදු කිරීම් සිදු නොකරන්නේ නම් අවදානමක් පවතින බවද ඔවුන් කියයි. COVID-19 සන්දර්භය තුළ මෙම පද්ධති ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කිරීම සඳහා වන තාක්ෂණික පිරිවිතරයන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනටමත් දක්වා තිබේ.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සනීපාරක්ෂාව පිළිබඳ විශේෂඥ උපදේශක ලූකා ෆොන්ටානා පවසා සිටියේ පිරිසිදු වාතාශ්‍රයක් ලබා ගැනීම COVID-19 වෛරසය ආසාදනය වීම වැළැක්වීමේ හා පාලනය කිරීමේ විශාල පැකේජෙයේ එක් අංගයක් පමණක් බවය. එමෙන්ම හැකි සෑමවිටම ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම, දෑත් පිරිසුදු කිරීමේ සනීපාරක්ෂාව සහ මුඛ ආවරණ පැලඳ සිටීම අතිශය වැදගත් වන බවද හෙතෙම අවධාරණය කරයි.



ගුවන්යානා සහ රෝහල්වල බහුලව භාවිත වන අධිකාර්යක්ෂම වාඅංශු පෙරහන්ද වායුගෝලයෙන් වෛරස හා විෂබීජ ඉවත් කිරීමට ඉවහල් වන තවත් ප්‍රයෝජනවත් මෙවලමකි. කැස්සකින් හෝ කිවිසුම් යාමකින් නිපදවිය හැකි ඕනෑම බෝවන ජල බිඳිතිවලට නිරාවරණය වන කාලය අවම කිරීමට මේවාට හැකිය.

එසේම විව්දුලි පංකා භාවිත කිරීමේදී වෛරසයට ගොදුරු නොවූ පවුලේ අය අතර වායු සංසරණය වැඩිදියුණු කිරීමට ඉන් පිටුබලයක් ලැබුණත්, ආසන්නතම පවුලේ සාමාජිකයන් නොවන අය සමඟ හවුලේ විදුලි පංකා භාවිතයද අවදානම ගෙනදිය හැකි බව පෙන්වා දෙයි. මන්දයත් වෛරසය ආසාදනය වී ඇති බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොමැති COVID-19 රෝගීන් ලෙසද හඳුනා ගැනෙන නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය හා පරිසර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා මාරීයා නීරා වැඩිදුරටත් පවසයි.

- නරේන් විශ්වජිත් -