ලෝකයේ වැඩිම COVID-19 ආසාදන වාර්තා වන රටවල් අතර දෙවැනි ස්ථානයට පත්ව ඇති ඉන්දියාව ගෙවීගිය දිනයේ ආසාදිතයන් 55,342ක් ලියාපදිංචි කරමින්, පසුගිය අගෝස්තු මස මැද භාගයේ සිට වාර්තා වූ අඩුම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව සනිටුහන් කර තිබේ. ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අඟහරුවාදා සමස්ත ආසාදිතයන් මිලියන 7.18කට වඩා වැඩි සංඛ්‍යාවක් තහවුරු කර ඇති නමුත්, පසුගිය සති 5ක කාලයේ රට තුළ දෛනික ආසාදන පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව පවසයි. අමාත්‍යාංශයේ දත්තවලට අනුව, සැප්තැම්බර් 9දා සිට 15 දක්වා සාමාන්‍ය දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 92,830කි. 


එතැන් සිට එම සාමාන්‍යය ක්‍රමයෙන් පහත වැටී ඇති අතර, එය පසුගිය සතියට වඩා දෛනිකව 73,000කට වඩා අඩු අගයක් බවට පත්ව ඇත. එසේම ගෙවීගිය දිනයේ එරට සෞඛ්‍ය අමාත්‍යාංශය මරණ 706ක් වාර්තා කර අතර, ඒ සමඟ එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 109,856ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

එසේම ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර, කර්නාටක, තමිල්නාඩු, බටහිර බෙංගාල සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවලින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, රට පුරා සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 60කට ආසන්න සංඛ්‍යාවක් එම ප්‍රාන්ත ආශ්‍රිතව සිදුව තිබේ.

මේ අතර, ඉන්දියාවේ COVID-19 පරීක්ෂණ අනුපාතය නියතව පවතින අතර, දෛනිකව පරීක්ෂණ මිලියනයකට වඩා සිදුකෙරෙයි. කෙසේ වෙතත් ලෝකයේ වඩාත් ජනාකීර්ණ නගරවල නිවහන වන ඉන්දියාවේ පරික්ෂණ අනුපාතය වෙනත් බොහෝ රටවලට වඩා බෙහෙවින් අඩු බැවින් සැබෑ ආසාදන මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවද විශේෂඥ මතය වී ඇත. 

බිලියන 1.4කට ආසන්න ජනගහනයක් වෙසෙන ඉන්දියාව, COVID-19 ආසාදිතයන්ගෙන් දෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ, මිලියන 3ක පමණ ආසාදන සීමාවක් කරා ළඟා වූ එක්සත් ජනපදයට පමණක් දෙවැනි වෙමිනි. ඉන්දියාව මාර්තු මාසයේදී මෙම කලාපයේ රට පුරා දැඩි අගුලු දැමීමක් සිදුකළ රාජ්‍යය වූ අතර, එය මිනිසුන්ට නිවෙස්වල රැඳී සිටීමට සහ ව්‍යාපාර වසා දැමීමට බල කිරීමටත්, මිලියන ගණනක් වූ සංක්‍රමණික කම්කරුවන් වෙත නගරවලින් නික්ම යාමක් ඇති කිරීමටත් හේතු විය. කෙසේ වෙතත් ඉන් අනතුරුව ජුනි මාසයේදී රටේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ වීමක් සිදු විය.

මේ අතර බ්‍රහස්පතින්දා සිට එරට සිනමාශාලා සියයට 50ක ධාරිතාවකින් නැවත විවෘත වූ අතර, පාසල් සහ අනෙකුත් පොදු ස්ථාන නැවත විවෘත කළ යුතුද යන තීරණය ෆෙඩරල් රජය ප්‍රාන්ත රජයන්ට භාරදී තිබේ. කෙසේ වෙතත්, එළැඹෙන උත්සව සමයේදී මහජන සැමරුම් සඳහා විශාල ජනකායක් එක්රැස් වනවිට තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවට විශේෂඥයෝ බිය වෙති.

එසේම ආසාදනවල නව වැඩි වීමක් අපේක්ෂා කරමින් ඉන්දීය රජය දැඩි මාගෝපදේශ නිකුත් කර ඇති අතර, ඔක්තෝබර් 25දා දුසේරා සහ ඊළඟ මස මුලදී දීපවාලී යන ප්‍රධාන හින්දු උත්සව දෙක සඳහා ආරාධිතයන්ගේ සංඛ්‍යාව සීමාකර තිබේ. මේ අතර, එන්නතක් ළඟදීම ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඉන්දීය රජය අවධාරණය කළේය.

"ලබන වසරේ මුල් භාගය වනවිට එක් එන්නත් ප්‍රභවයකට වඩා වැඩි ගණනක් රට තුළ තිබිය යුතු යැයි කියා අප බලාපොරොත්තු වෙනවා. අපගේ විශේෂඥ කණ්ඩායම් විසින් රට තුළ එන්නත් බෙදාහැරීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සැලසුම් කිරීම සඳහා මේ වනවිටත් උපාය මාර්ග සකස් කරමින් සිටිනවා." යැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් සඳහන් කළේය.