ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය මෙන්ම රුසියාව තුළත් උදාවෙමින් පවතින ශීත සෘතු කාල සමයත් සමග එම කලාපයන්හිදී වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා පවසයි.

අර්ධගෝලය හරහා හමා එන ශීත සුළං හේතුවෙන් පවතින කාලගුණික තත්ත්වයන් මෙලෙස රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යාමට දායකත්වය ලබා දී තිබේ. ඒ අනුව උද්ගතව පවතින මේ තත්ත්වය සතිය ආරම්භයේදීම ගෝලීය මූල්‍ය වෙළෙඳ පොළ වෙත බලපෑම් එල්ල කළ අතර,

ඉහළ යන ආසාදිතයන් සංඛ්‍යාව ගෝලීය ආර්ථික ඉදිරි දැක්ම සඳහාද යම් බාධාවන් මතු කර ඇත. ඒ අතරීන් පසුගිය සඳුදා දිනය එක්සත් ජනපදයේ කොටස් වෙළෙඳ පොළ වෙත සති හතක කාලයකට පසුව උදාවූ දරුණුතම දිනය බවටද පත්විය. එහිදී රට තුළ වාර්තා වන ෙදෙනික ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණ වීමත්, තවදුරටත් ආර්ථික ආධාර ලබාදීම සඳහා වන එකඟතාවන් දේශපාලන කරුණු නිසා සිරවී තිබීමත් යන කාරණාද ඊට බලපා තිබේ. 

මේ අතර බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ටාසෙනෙකා සමාගම එක්ව නිපදවූ COVID-19 වෛරසයට එරෙහි එන්නත මේ වනවිටත් වැඩිහිටි පුද්ගලයන් මෙන්ම තරුණ පිරිස් අතරද වඩාත් හොඳ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර දක්වා ඇතැයි වාර්තා පවසයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් පසුගියදා සඳහනක් කරමින් මෙම එන්නත ලබන වසර වනතුරුම ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති බවත්, කිසිවෙකුත් තවමත් එහි සාර්ථකත්ත්වය ආසන්නයට  පැමිණ නොමැති බවත් පවසා තිබේ.