දෙවැනි කොවිඩ් රැල්ලේ පැතිර යාමට බ්‍රැන්ඩික්ස් ආයතනයේ පාලකයන්ගේ, නියෝජිතයන්ගේ හෝ රජයේ නිලධාරීන්ගේ හෝ නොසැලකිල්ලක් හෝ අපරික්ෂාකාරීත්වයක් හෝ හේතුවූයේද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් සිදුකර සති දෙකක කාලය තුළ තමාට වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (27) නියම කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම විමර්ශනය කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට නියම කර ඇති අතර කොවිඩ් රෝගය පැතිරයාමට ඔවුන් කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් ද නොඑසේ නම් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් ද? යන්න පිළිබඳ මෙම විමර්ශනයේ දී සොයා බලන ලෙස ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
බ්‍රැන්ඩික්ස් කොවිඩ් 19 වසංගත පොකුර නිසා මනුෂ්‍ය ජීවිතයට සිදුවී ඇති අන්තරාදායක තත්ත්වය පිළිබඳ අවධානය යොමුකළ නීතිපතිවරයා පොලිස් නීති කොට්ඨාසයේ අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ (27) උදේ කැඳවා මේ පිළිබඳව කළ සාකච්ඡාවකින් අනතුරුව අදාළ උපදෙස් දී ඇත. මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරිමට ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් පළපුරුදු විමර්ශන නිලධාරින් යොදවන ලෙස උපදෙස් දී ඇති නීතිපතිවරයා මේ පිළිබඳව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ලබන නොවැම්බර් 13 වැනිදාට පෙර තමාට වාර්තා කරන ලෙස ද උපදෙස් දී ඇත.
0 Comments