රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ මාසය තුළ විභාග දෙපාර්තමේන්තුව විසින් ආයතනික මට්ටමින් පැවැත්වීමට සැලසුම් කර තිබූ විභාග දහයක් දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ iii ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ග්‍රාම නිලධාරි සේවයේ ii වැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පරිගණක හැකියා පිළිබඳ පරීක්ෂණ හා කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර් රථ පරීක්ෂකවරුන් සඳහා වන දෙවැනි දෙපාර්තමේන්තු විභාගය, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ii වැනි ශ්‍රේණියේ රේගු නියාමකවරුන් සඳහා පැවැත්වෙන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය, 2020 අධ්‍යාපන වර්ෂය සඳහා පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (අභ්‍යන්තර) පූර්ණකාලීන පාඨමාලාව හැදෑරීම සඳහා තෝරා

පත් කරගැනීමේ තරඟ විභාගය මෙලෙස කල්දමා තිබේ. 

මීට අමතරව මහජන බැංකුවේ ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කරන ලද ලේකම් සහකාර තනතුරේ සේවයේ නිරත පිරිස් ස්ථිර කිරීම සලකා බැලීමේ පරීක්ෂණය, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ ගොඩනැගිලි පරීක්ෂණ iii වැනි ශ්‍රේණියේ තනතුර සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගය (සීමිත/විවෘත), ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛනඥ, සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය, එම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ iවැනි ශ්‍රේණියේ සංඛ්‍යාලේඛන නිලධාරීන් සඳහා වන දෙවැනි කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ජාතික උද්හිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ ii වැනි ශ්‍රේණියට නිලධාරීන් බඳවාගැනීමේ තරඟ විභාගය (සීමිත/විවෘත) යන තරඟ විභාගය පැවැත්වීම කල්දමා ඇත.

 - එච්.අයි. තුෂාර