කොවිඩ් - 19 ආසාදිත යැයි පැවසූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉංගිරිය හඳපාන්ගොඩ ශිෂ්‍යාවට කොවිඩ් - 19 ආසාදනය වී නොමැති බව අංගොඩ IDH රෝහලෙන් තහවුරු කර තිබේ. 
 ඒ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ, එම ශිෂ්‍යාව PCR පරීක්ෂණයකට යොමු වී ඇති බවත් එහිදී ඇයට වෛරසය ආසාදනය වී ඇතැයි දැනුම් දී ඇති බවත්ය.
 පළමු PCR පරීක්ෂාව සිදු කළ ස්ථානය පිළිබඳ නිසි තොරතුරක් විශ්වවිද්‍යාලයට වාර්තා වී නොමැති බවත් ඇය ආසාදිතයෙකු බව තහවුරු වූ නිසා අංගොඩ IDH රෝහලට ඇතුළත් කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. 

 IDH රෝහලෙන් නැවත ඇයව PCR පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඇයට කොවිඩ් - 19 ආසාදනය වී නොමැති බවය.
කෙසේ නමුත්, මුලින් ඇය පෞද්ගලිකව PCR පරීක්ෂාවකට භාජනය වී එම වාර්තාව අනුව වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා ඇයගේ ආශ්‍රිතයන් කිහිප දෙනෙකු ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් PCR පරීක්ෂාවට ලක් කර ඇත. 

 ඉංගිරිය හඳපාන්ගොඩ පදිංචි එම ශිෂ්‍යාවගේ විශ්වවිද්‍යාල මිතුරියන් කිහිප දෙනෙකු සහ ආචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු ඇතුළුව 09 දෙනෙකු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් PCR පරීක්ෂාවට ලක් කළ අතර ඒ සියලු දෙනාගේ වාර්තා නෙගටිව් බව ද උප කුලපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. 

 තව ද IDH රෝහලෙන් කළ දැනුම් දීමට අනුව උක්ත ශිෂ්‍යාවට කොවිඩ් - 19 ආසාදනය වී නොමැති බව තහවුරු වුව ද ඇයව රෝහලට රැගෙන ඒම නිසා මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව උප කුලපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

 ප්‍රියාශා හෙට්ටිහේවා