ලොව පුරා ව්‍යාපාර සහ ජනතාව ඉදිරි දශකයේදී මුහුණ දෙන ලොකුම අවදානම විරැකියාව බවට පත් විය හැකි බව ලෝක ආර්ථික ෆෝරමය (world Economic Forum) සඳහන් කරයි. ඔවුන් සිදුකළ අලුත්ම සමීක්ෂණයක ප්‍රතිඵල අනුව මේ පිළිබඳව කරුණු පෙන්වා දෙයි. මෙහිදී වර්තමානයේ ලොව තුළ ව්‍යාප්තව පවතින වසංගත රෝග ඇතුළු කාරණා රැසක් පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් ඔවුන් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

විශේෂයෙන්ම ලොව පුරා නව කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති ලොක්ඩවුන් සීමා මෙන්ම අනෙකුත් සීමා කිරීම් හේතුවෙන් බොහෝ සේවකයන්ට විශ්‍රාම යෑමට හෝ යම් කලකට නිවාඩු ලබාගැනීමට සිදුවීමේ අවස්ථාව උදාවී තිබීමත් සමඟ මෙලෙස ලොව විරැකියා අනුපාතය ඉතාමත් වේගයෙන් ඉහළ යමින් පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක ආරිථික ෆෝරමයේ කළමනාකාර අධ්‍යක්ෂ සාදියා සාහිදි "මේ වසංගතය නිසා රැකියා අවස්ථා කඩාකප්පල්

කිරීමකට ලක්වෙලා. ඇතැම් ස්ථානවලදී හරිත ආර්ථිකයක් (Green Economy) වෙත පිවිසීමේ අවස්ථාවන්ද සමඟ සේවකයන් වෙනුවට ස්වයංක්‍රීය ක්‍රමවේද යොදාගැනීම ඉහළ ගිහින්. මේ තත්ත්වය ලොව රැකියා වෙළඳ පොළ වෙත තර්ජනයක් එල්ල කර තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි. 

ඒ අනුව මෙම වසංගතයෙන් පසුව ලොව රටවල් යළිත් නැගීසිටින අවස්ථාවේදී තම රටවල් තුළ අලුත් රැකියා බිහි කිරීමට ඒවායේ නායකයන්ට අවස්ථාව ලැබෙන බවත්, ජනතාවට ජීවත්වීමට අවශ්‍ය වැටුප් ලබාදීමෙන් ඔවුන්ට උදව් ලබාදිය හැකි බවත් කළමනාකාර අධ්‍යක්ෂවරිය සඳහන් කරයි. එසේම සමාජ සුරක්ෂිතතාව පිළිබඳව කල්පනා කරමින් හෙට දිනයේදී රැකියා වෙළඳ පොළ තුළ ඇති වන අභියෝග වෙත මුහුණ දීමටත් මෙම නායකයන්ට වගකීමක් පැවරෙනු ඇතැයිද ඇය පවසා සිටියි.