බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත ඇතිවූ පොකුර නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1034ක් සොයාගෙන ඇති බවට ඊයේ සවස වනවිට වාර්තාවූවද ඒ අයගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් තවම රෝහල්ගතවී නැති අතර ඔවුන් සිටින්නේ කොහිද යන්න බලධාරීන්ට අවිනිශ්චිතවීම ගැටලුකාරී වී ඇති බව අද උදෑසන වනවිට වාර්තාවී තිබුණි.

පීසීආර් පරීක්ෂාව සඳහා සාම්පල ලබාදුන් අය ඒ සමග පිරවිය යුතු පෝරම වල බොරු ලිපින ලබාදී පළාගොස් තිබීම මෙයට හේතුවයි.ඔවුන් ලබාදී ඇති දුරකථන අංකද වැරදි ඒවා බව හෙළිව ඇත.මෙම තත්වය නිසා රෝග පාලනය බලධාරීන්ගේ අධීක්ෂණයෙන් මිදීයාමේ ගැටලුවක් මතුව ඇත.
ඇඟලුම් සේවකයින් ආශ්‍රිත ගැටලුවේදී මුල සිටම මෙම ප්‍රශ්නය පැවති අතර ඇතැමුන් තම රැකියාව අහිමිවේය. නවාතැන නැතිවේය. නෑදෑයන් දැනගනීය ආදී විවිධ හේතු සලකා සත්‍ය තොරතුරු මගහරින්ට උත්සාහ කර තිබුණි. එසේම ගිලන් රථ ඔවුන් ඉදිරියටම යැවූවත් ඒවායේ නැග එන්නට මැළිකමක් දැක්වූ අය හමුවිය. පසුව සෞඛ්‍ය ඇමතිනිය මැදිහත්වී නිවේදන ලිපියක් පවා මේ වෙනුවෙන් නිකුත් කරන්නට සිදුවිය.

ඊයේ (07) පස්වරු වන විට රෝහල්ගතව ඇත්තේ 528ක් පමණක් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම්

කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

අනෙකුත් ආසාදිතයන් මෙතෙක් හමුවී නැත. ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍යාරක්ෂක අංශ ප්‍රධානීන්ගේද සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙ අයගේ සත්‍ය ලිපින සොයාගැනීමේ දුෂ්කර කාර්යය  බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සහායෙන් සිදුකරගන්නට පසුව තීරණයවී ඇත. කර්මාන්ත ශාලාවේ1725ක් සේවය කර ඇති අතර ඔවුන් සියලු දෙනාගේම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත. එම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ඔවුන් නිරෝධානය සඳහා නිවාසවලට යොමු කර තිබේ.

නමුත් එම සේවකයන් ලබා දී ඇති ලිපින හා ජංගම දුරකථන අංක ඇතැම්වා වැරැදි බවද අනාවරණය වී ඇත‍ෙ

එමෙන්ම ගම්පහ දිස්ත්‍රිත් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ සේවක සේවිකාවන්ගේ ලිපින ලබාදෙන ලෙස ආරක්ෂක අංශ සාමාජිකයන් ඉල්ලා සිටියත් ගම්පහ සෞඛ්‍ය නිලධාරීන් ඊට මැළිකමක් දක්වා තිබේ. කෙසේ වෙතත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ සියලුදෙනා සහ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමටද තීරණය කර ඇත.