මොනරාගල-මැදගම ප්‍රදේශයේදී කොරෝනා වෛරසය ශරීර ගතවූ කාන්තාවක් හමුවීමෙන් පසු ඇය පදිංචි ප්‍රදේශයේ නිවසක නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු ඊයේ (08දා) ජීවිතක්ෂයට පත්වී ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි. 
 මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මොනරාගල බොල්ගල්ල-වල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි ඒ.එන්. ලොකු බණ්ඩා (70) නැමති අයෙකි.
ඉකුත් (04) වෙනිදා කොළඹ සිට මොනරාගලට පුද්ගලික බස් රථයකින් පැමිණි කාන්තාවකට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරුවී තිබිණි. 
 මියගිය අයගේ දියණියක්ද එම බස් රථයෙන් පැමිණි බවට අනාවරණය වීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් විසින් නිවසේ සිටි අය ස්වයං නිරෝධායනයට ලක් කැර තිබිණි. ඊයේ (08) රාත්‍රී 7.00 ට පමණ හදිසියේ අසනීපවූ හැත්තෑ හැවිරිදි එම නිවසේ ගෘහමූලිකයා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. ඔහුට කොරෝනා වෛරසය ශරීර ගතවී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා සෙම් සාම්පල් පී.සී.ආර්. පරීක්ෂාව සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට යෑවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත. අදාළ වාර්තාව ලැබෙන තෙක් දේහය මුද්‍රා තබා මෘත ශරීරාගාරයේ තැන්පත් කැර ඇත. 

 මොනරාගල සුමනසිරි ගුණතිලක