නිකවැරටිය, කුඹුක්වැව ප්‍රදේශයන් වාර්තා වූ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයාගේ ආශ්‍රිතයන් ලෙස පවුල් නවයක පුද්ගලයන් පනස්තුන්දනකු සහ ව්‍යාපාරික ස්ථාන එකක් නිරෝධායනයට ලක් කළ බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 

ආසාදිතයාගේ මව සහ ආසාදිතයා ගමන් ගත් බව

පැවසෙන ත්‍රිරෝද රථයේ රියදුරා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ බවත්, ඔවුන් දෙදෙනාගේ පරික්ෂණ වාර්තා තවම ලැබී නොමති බවත් සඳහන් කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා 28 දින පරික්‍ෂණ ආරම්භ කළ බවද පවසා සිටියි. 

මෙම ආසාදිතයා වෙසෙන කුඹුක්වැව, ඇලවක මාර්ගයේ දින කිහිපයකට පෙර තවත් ආසාදිතයෙකු වාර්තා වී ඇති බවත්, ඒ අනුව පවුල් රැසක් නිරෝධායනය කර අති බවත් පවසන නිකවැරටිය මූලස්ථාන පොලීසිය, එම හේතුව නිසා එම මාර්ගයට පොලිස් මුරපොළක් යොදවා සංචරන සීමා පැනවීමට පියවර ගෙන ඇති බවද සඳහන් කරයි. 

මේ වනවිට නිකවැරටිය ප්‍රදේශයෙන් කෝවිඩි-19 වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු වාර්තා වී ඇති බවත්, රෝග ව්‍යාප්තිය මර්දනය කිරීම සදහා නිකවැරටිය නගරයෙහි ජනයා, ව්‍යාපාරික ස්ථාන, බස් රථ සේවකයන් සහ මගී පිරිස් ඇතුළු සෙසු කණ්ඩායම් කෝවිඩ්-19 වසංගත තත්වය පිළිබද දැනුවත් කිරීම් සිදුකරන බවද සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මූලස්ථාන පොලිසිය පවසා සිටියි. 

එසේම ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත කර වීමට සහ තිරෝධායන නීතිය පිළිබඳ දැනුවත් කිරීමටද, රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට නිරන්තර කටයුතු කරමින් සිටින බවද, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

- ප්‍රියාණි මංගලිකා-