ඊයේ (29) බස්නාහිරින් පිටතට ගමන් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කර ඇති බවත් ඔවුන් ලැගුම් හල් හා හෝටල්වල නවාතැන්ගැනීමට කටයුතු කර ඇති බවටත් පොලිසියට ආරංචි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා දන්වා සිටියි.

ඒ අනුව ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා සිටියේය.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අදාළ පිරිස් පළාතෙන් පිටතට ගමන් කිරීම බරපතල වරදක් බැවින් ඔවුන් සොයාගෙන අත්අඩංගුවට ගැනීමට මෙම මෙහයුම ක්‍රියාත්මක බව දන්වා සිටියි.

දැනට බස්නාහිරින් පිටවී තැන් තැන්වල නවාතැන් ගත්තත් ඔවුනට නැවත බස්නාහිර පළාතට පැමිණීමට සිදුවන බැවින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම නැවත පැමිණෙන ස්ථාන වලද ඉදිරි දින කිහිපයේ ක්‍රියාත්මක බව දන්වා සිටියි.

ඇඳිරි නීතිය අවසන්වී මෙම පිරිස් නැවත කොළඹට පැමිණීමේදීද හසුකර ගැනීමට අපේක්ෂා කරන බවත් නිරෝධායන නීති උල්ලංඝනය සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා සිටියේය.