ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, බටපොළ, නියාගම හා අහංගම ප්‍රදේශවල පදිංචි සිව් දෙනකු මේ වනවිට කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙයි.

ඔවුන් දිවුලපිටිය කර්මාන්තශාලා සේවක සේවිකාවන් කිහිප දෙනකු වන බවද පැවසේ. කොවිඩ් – 19 ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් තවත් පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කංචිත සමරරත්න මහතා පවසයි.

 බටපොළ පදිංචිකරුවා පොදු ප්‍ර‍වාහන සේවා කිහිපයක්ම භාවිතා කර ඇති අතර  අධීවේගී මාර්ග බස් රථය ඇතුළු තවත් බස් රථ කිහියක ගමන් කර ඇත. එම බස් රථ හඳුනාගැනීමට බුද්ධි අංශ සමග කටයුතු කරන බව ඔහු ගමන්ගත් ප්‍රදේශ ඉලක්ක කරගනිමින්

පීසීආර් පරීක්ෂණ සිදුකරන්නට අපේක්ෂිත බවද කියැවුණි.

අහංගම පදිංචි කාන්තාව නිවස ආසන්නයේ පැවැති දානමය පිංකමකට සහභාගී වීම නිසා දානමය පිංකමට කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ‍ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් හය දෙනකු ද සහභාගී වී ඉන් පසු සේවයට වාර්තා කර තිබීම අවදානම් තත්වයක් බවට හඳුනාගෙන ඇත.

දානමය පිංකමට සහභාගී වූ පුද්ගලයන් මේ වනවිට සමාජය තුළ සැරිසරා ඇති බැවින් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අද (07) ආරම්භ කර ඇත.

ඇල්පිටියේ පදිංචි කොරෝනා ආසාදිත බව තහවුරුකර ගත් කාන්තාවගේ දරුවකු මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් එම දරුවා අම්බලන්ගොඩ ප්‍රදේශයේ උපකාරක පන්ති සඳහා සහභාගී වී ඇති බවත් අනාවරණය වී ඇති අතර දරුවාගේ ආසාදන තත්වයක් තවම හඳුනාගෙන නැත.