ලොවට වසංගතයක් වූ, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව මනුෂ්‍යයන් අතරේ සමූහ ප්‍රතිශක්තියක් නිර්මාණය වේවි යැයි අපේක්ෂක කළත්, එවැන්නක් සිදු නොවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම්  ගෙබ්‍රියේසිස් ප්‍රකාශ කළේය.  ගෝලීය වසංගත තත්ත්වයකදී, ආසාදිතයන් සංඛ්‍යාවට සමානව, සුවය ලැබූවන් වැඩිවෙද්දී, ස්වභාවිකව අප සියලු දෙනාගේ ශරිරවල ඇතිවන ප්‍රතිශක්තිය සමූහ ප්‍රතිශක්තිය යැයි වෛද්‍යවරු අර්ථ දක්වති. අතීතයේ, ගෝලීය වසංගත බොහොමයක් ස්වභාවිකව පාලනය සමූහ ප්‍රතිශක්තියක් නිර්මාණය වීමෙන් පසුවය.  චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ඇරැඹුණු කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූවන් ගණන 38,040,100 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 1,085,400 පසු කර තිබේ. ආසාදිතයන් ඉහළ යද්දී, වයිරසය සුව වූවන් ගණන 28,599,000 ට ආසන් වී තිබේ.

සමූහ ප්‍රතිශක්තියක් ගැන බලාපොරොත්තුවක් තබා ගැනීමට නොහැකි බැවින්, වයිරසයෙන් ආරක්ෂා වීමට සමාජ දුරස්ථභාවය රැක ගැනීම, මුඛ ආවරණ පැලදීම ආදීය කළ යුතු බවත්, නිරන්තරයෙන් දෑත් පිරිසුදුව තබා ගැනීම වැදගත් බවත් වෛද්‍ය ගෙබ්‍රියේසිස්

යළිත් වරක් අවධාරණය කළේය.  කොරෝනා වයිරසය වළැක්වීමේ අරමුණින් නිපදවන එන්නත්වල ප්‍රගතිය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති අතර, ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී, මාධ්‍යවේදීන් ඒ ගැන විමසූ අතර,ගෙබ්‍රියේසිස් පැහැදිලි කළේ එන්නතක් ගැන බලාපොරොත්තු තැබිය හැකි වන්නේ ලබන 2021 දී බවය.

කෙසේ නමුත් මේ වනවිට කොරෝනා මර්දනය කළ හැකි ආකාරයේ එන්නත් සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටින්නේ රුසියාව සහ චීනයයි. රුසියාවේ කොරෝනා වළක්වන එන්නත 'ස්පුට්නික් 5' වන අතර මෙය රුසියානුවන්ට ලබා දීම දිගටම සිදුවෙයි. ඒ, තෙවැනි අදියරේ සායනික පර්යේෂණ සිදු කරද්දීය. රුසියානු සෞඛ්‍ය බලධාරින්ට අනුව, එන්නත සාර්ථකය. ලොව පළමුවෙන් ලියා පදිංචි කළ කොරෝනා මර්දන එන්නත වන්නේ ද 'ස්පුට්නික් 5'  ය. චීන විද්‍යාඥයන් ද එරට රජයේ අනුග්‍රහය යටතේ එන්නතක් නිපදවා ඇති අතර, එය ද අවසන්  සායනික අත්හදා බැලීම් සිදු කරද්දී චීන වැසියන්ට ලබා දීම ආරම්භ කර තිබේ.

ඊට අමතරව, ඇමෙරිකාවේ ෆයිසර්, මොඩර්නා, ජර්මනියේ බියෝටෙක්, එක්සත් රාජධානියේ ඇස්ට්‍රා සෙන්කා සහ ඔක්සෆර්ඩ් විශ්ව විද්‍යාල ද සාර්ථක එන්නත් නිපදවීමේ අවසන් අදියරේට  පසුවන බව පැවැසෙයි. මේ එන්නත් ලබා දීම සිදු  කරනු ඇත්තේ සියලු සායනික අත්හදා බැලීම් අවසන් කර, ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුවය. මෙම එන්නත් නිපදවීම සිදු කරන්නේ කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමටය. වයිරසය ආසාදනය වූ අයකුට මෙම එන්නත්වලින් ඵලක් නොමැති බව වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.