මේ දිනවල කොරෝනා සම්බන්ධයෙන් ඇතිව තිබෙන තිගැස්ම හේතුකොට ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහින් බාහිර ප්‍රදේශවල පවා ආහාර සම්බන්ධයෙන් අධික ඉල්ලුමක් මතුව ඇතැයි වාර්තාවේ.

ජනතාව හදිසියේ ආහාර රැස්කිරීම නිසා වෙළෙඳ පොළේ ආහාරවල හිඟයක් ඇතිවී තිබෙන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරන්නන්ගේ සංගමයේ ලේකම් ජී. නාදන් මහතා මේ ගැන විස්තර කරමින් පවසා තිබේ.


සතියකින් අලෙවි වන ආහාර ද්‍රව්‍ය පසුගිය සතියේ දිනයකදී අලෙවි වූ බව පවසන ඔහු එසෙ සිදුව ඇත්තේ අනවශ්‍ය කලබලය නිසා බවද  පැවැසීය.

කොයිමොහොතේ හෝ තමන් වාසය කරන ප්‍රදේශයටද ඇඳිරි නීතිය පනවනු ඇතිය යන දෙගිඩියාව නිසා ආහාර රැස්කරගැනීමේ අවශ්‍යතාවක් ජනතාවට පැනනැගී ඇත.

මෙම හිඟය ලබන සතිය වනවිට යථා තත්ත්වයට පත්වන බවත් හාල් හැර අනෙක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයක්  ඇතිනොවේය යන්න තම විශ්වාසය බවත් ජී. නාදන් මහතා කීය.

පෙර අවස්ථාවල මෙන් මාස ගණනකට අවශ්‍ය තොග රැස් කිරීමට අවශ්‍යතාවයක් තම ආනයනකරුවන්ට නැති බවත් සතියකට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතිපතා ආනයනය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.