ඊයේ කොරෝනා ආසාදිත බවට හඳුනාගත් දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ
ඇතැම් ප්‍රකාශ පරස්පරවීමෙන් රෝගය පැතිරීම සම්බන්ධ දත්ත අපැහැදිලිවී ඇති බවට ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කර තිබේ.
ඇය රෝගියකු බව හඳුනාගත් ආසන්න කාලයේ දී කිසිවකු නිවසට පැමිණ නැති බව කීවද ඊයේ (04 වැනිදා) ආරක්ෂක අංශ ප්‍රශ්න කිරීමේ දී පැමිණි පුද්ගලයන්ගේ ලැයිස්තුවක් සඳහන් කර ඇති බව වාර්තාවී ඇත.

බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ ඇඟළුම් සුපර්වයිසර්වරියක ලෙස ඇය සේවය කර තිබෙන අතර මේ නිසා ඇඟළුම් සේවිකාවන් එක එක්කෙනා ළඟට වෙනම ගොස්උපදෙස් දෙමින්  කථාබහ කිරීමේ අවස්ථාව ඇය රාජකාරිය තුළදී ඉටු කර තිබේ. ඇගේ කොරෝනා ආසාදන තත්වය නිසාමෙම ස්වරූපය රෝගය පැතිරයාමට වැඩි ඉඩක් යොමු කර ඇත.

කෙසේ වෙතත් ඇයට නිරාවරණයවූ ඇතැම් සේවක සේවිකාවන් තමන්ගේ ආත්මාර්ථය ගැන සලකා නිරෝධායනයට ඉදිරිපත් නොවන තත්වයක්ද ඊයේ වාර්තාවී තිබේ.
ඇය සේවය කළ ආයතනයේ අදාළ සේවකයන්ගේ දත්ත සටහන් නිවැරදිව තබා නොගැනීම හේතුවෙන් සේවකයන් සොයා ගැනීම විශාල ගැටලුවක්ව ඇති බවද වාර්තාවී තිබේ.
“ගොඩක් ළමයි බෝඩින් කාමරවල ඉන්නේ. ඒ අයට යන එන තැන් නැති වෙයි කියලා ඉදිරිපත් වෙන්නේ නෑ. නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යයි කියලත් ඒ අය බයවෙලා. මේ පිරිස නිවැරදිව හඳුනා නොගෙන අපිට දෙවැනි පෙළ ආශ්‍රිතයන් හඳුනාගන්න අමාරුයි. කොහොම නමුත් මේ වන විට අදාළ මෙහෙයුම් සිද්ධවෙනවා සහ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා.” උපුල් රෝහණ මහතා සඳහන් කර තිබේ.
මේ අතර ආසාදිත කාන්තාවගේ ස්වාමි පුරුෂයා ත්‍රී රෝද රථ රියදුරෙකු වූ අතර ඔහු හා ගැවසුණ පුද්ගලයින් ගැනද පරීක්ෂණ අරඹා තිබුනේ ඔහුගේ පීසීආර් වාර්තාව ලැබෙන්නටත් පෙරයි.