මොරගහහේන, මිල්ලෑව, තක්ෂිලා උයන ප්‍රදේශයේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා ඉඩම් කොටස් 11ක් ව්‍යාජ ඔප්පු සාදා ඉතා අඩු මුදලකට වෙනත් පුද්ගලයෙකුට විකුණූ සංවිධානාත්මක කලියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු මොරගහහේන ප්‍රදේශයේදී ඊයේ (13) අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ වීමර්ශන අංශය පවසයි.

එම සැකකරුවන් සන්තකයේ තිබූ ව්‍යාජ හැදුනුම්පත් 02ක්, ජංගම දුරකථන 04ක් බැංකු කාඩ්පත් 04ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් මීට වසර 18කට පෙරදී වෙන්දේසි සමාගමකට අයත් පර්චස් 12ත්, 13ත් අතර

ප්‍රමාණවලින් යුත් ඉඩම් කොටස් 13ක් මිලදී ගෙන තිබේ.

අනතුරුව නාදුනන පිරිසක් පැමිණ එම ඉඩම් සුද්ධ පවිත්‍ර කරන බවට ප්‍රදේශවාසීන් ලබාදුන් දුරකථන පණිවුඩයක් අනුව එම ඉඩම් මිලදී ගත් පුද්ගලයත් ඉඩම් වෙත පැමිණ සොයා බැලීමේදී සුද්ධ පවිත්‍ර කරමින් සිටි පිරිස පවසා ඇත්තේ ඔවුන් මෙම ඉඩම් මිලදී ගත් බවයි.

එම ඉඩම්වල නිත්‍ය අයිතිකරුවන් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා, හොරණ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ගිය අවස්ථාවේදී ඔවුන්ගේ නමට තිබූ ඔප්පු ඔවුන්ගේ නමින්ම වෙනත් පුද්ගලයන්ට පවරා ඇති බවට දැන ගැනීමට ලැබීමෙන් පසු එම නිත්‍ය අයිතිකරුවන් පිරිස හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි කළ බව පොලීසිය පැවසීය.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් එම ඉඩම් මිලදී ගත් බව පැවසෙන මොරගහහේන ප්‍රදේශයේ පුද්ගලයා කැඳවා ප්‍රශ්න කිරීමේදී එම ඉඩම් කොටස් 12න් 11ක්ම මෙම වසරේ ජනවාරි මස සිට පසුගිය සැප්තැම්බර් මස දක්වා වරින් වර මිලදී ගත් බව පවසා තිබේ.

අදාළ ඉඩම් මොරගහහේන ප්‍රදේශයේ පුද්ගලයාට විකිණීම සඳහා එම ඉඩම්වල මුල් පිටපත් ව්‍යාජ ලෙස සකසූ

මෙම සංවිධානාත්මක කල්ලි සාමාජිකයන් සාක්කි අත්සන් කිරීම සඳහා යොදාගත් පුද්ගලයන්ට ව්‍යාජ හැඳුනුම්පත් පවා සකස් කර මෙම කූට ජාවාරම සිදුකර තිබූ බව පොලීසිය පැවසීය.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩි මහතාගේ උපදෙස් මත හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගාමිණී රාජකරුණා මහතා ඇතුළු නිලධාරීන් වඩිදුර පරීක්ෂණ පවත්වති.


 - බිමල් ශ්‍යාමන් -