'කෝවිඩ්-19' තත්ත්වය තුළ රාජ්‍ය සේවකයන් රාජකාරියට කැඳවීම පිළිබඳ තවමත් නිසි ක්‍රමවේදයක් සකස් කර නොමැති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. 

මීට පෙර 'කෝවිඩ්-19' පැතිර යන අවස්ථාවේදී රාජ්‍ය සේවකයන් සීමා සහිතව කැඳවීමට ක්‍රමවේදයක් සකස් කිරීමට සෞඛ්‍ය බලධාරීන් හා ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කළ බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා සඳහන් කළේය. 

පසුගිය වතාවට වඩා මෙවර 'කෝවිඩ්-19’ රෝගීන් මෙරට හමුවී තිබෙන බවත්, එහෙත් රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා කිරීමට අදාළ

යම් වැඩපිළිවෙළක් සකස් කර තිබෙන්නේ දකුණු පළාත් සභාව පමණක් බවත් අජිත් කේ. තිලකරත්න මහතා පවසා සිටියේය. මේ හේතුවෙන් මධ්‍යම රජය යටතේ සහ සෙසු පළාත් සභා අට තුළ සිටින රාජ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇතිවී තිබෙන බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

මීට අමතරව ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල සහ හුදකලා ගම්මානවල ජීවත්වන රාජ්‍ය සේවකයන්ට නිවාඩු අනුමත කිරීමට අදාළ චක්‍රලේඛයක් මෙතෙක් නිකුත් කර නොමැති බවද ප්‍රධාන ලේකම්වරයා පවසා සිටියේය. මේ හේතුවෙන් රාජ්‍ය සේවකයන් රාජකාරිවලට කැඳවීම සීමා කරමින් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට හා ඇදිරිනීතිය පවතින ප්‍රදේශවල සිටින රාජ්‍ය සේවකයන්ට හා හුදකලා ගම්මානවල සිටින රාජ්‍ය සේවකයන්ට නිවාඩු අනුමත කරන ලෙසට ජනාධිපති ලේකම්වරයාගෙන් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද අජිත් කේ. තිලකරත්න මහතා සඳහන් කළේය.

 - ඉන්දික හෙවාවිතාරණ -