වල් ඌරන්ට නීතී වීරෝධීව අටවා තිබූ විදුලි රැහැනකට පැටලී කාන්තාවන් දෙදෙනකු මියගිය පසු එම කාන්තාවන් දෙදෙනාගේ සිරුරු කැලැවකට ගෙන ගොස් සැඟවූ බව කියන පුද්ගලයකු  අත්අඩංගුවට ගත් බව හෙම්මාතගම පොලිසිය පවසයි. සතුන් මැරීම සඳහා මෙසේ නීති විරෝධී ආකාරයට විදුලි රැහැන් ඇටවූ බව
කියන පුද්ගලයා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවැසීය.  මෙසේ මියගොස් තිබුණේ හෙම්මාතගම, මිපිටිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි එන්.  නන්දාවතී සහ 36 හැවිරිදි නිලුකා රණසිංහ (36)  නමැති කාන්තාවන් දෙදෙනෙකි.  මෙම කාන්තාවන් දෙදෙනා පසුගිය සැප්තැම්බර් මාසයේ 30 වැනිදා සිට අතුරුදන් බව ඔවුන්ගේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබිණි.


ඒ අනුව සබරගමුව හා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු  මහතාගේ විශේෂ උපදෙස් මත අතුරුදන්වීම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත.  මෙම කාන්තාවන් දෙදෙනාගේ අබිරහස් අතුරුදන්වීම සම්බන්ධයෙන් හෙම්මාතගම, දඹදෙණියේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරිමේදී ඔහු විසින් වල් ඌරන් මැරිමට අදින ලද විදුලි රැහැන්වලට පැටලී විදුලිය සැර වැදී මෙම කාන්තාවන් දෙදෙනා මියගොස් සිටි බවත් කාන්තාවන් දෙදෙනා අවස්ථා දෙකකදී කැලෑවට ඔසවාගෙන ගොස් සඟවා තැබූ බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇති බව  කියති. සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත පොලිස් කණ්ඩායමක් ඊයේ (04) එම කාන්තාවන් දෙදෙනාගේ සිරුරු සොයාගත් බවද පොලිසිය කියයි. වල් ඌරන් මැරිමට ඇද තිබූ විදුලි රැහැන්ද පොලිසිය සොයාගෙන තිබේ.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය-