හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ත්ව කාණඩ 23කට අයත් සතුන් 550දෙනෙකු හා ශාක කොටසක් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කරන ලද විදෙස් ජාතිකයින් තිදෙනෙකු පසුගියදා හසුවූ අතර එම නඩුවේ සැකකාර විදේශිකයන් තිදෙනාගෙන් යළි ප්‍රකාශ සටහන් කර කඩිනමින් චෝදනා පත්‍ර ගොනු කර නොවැම්බර් 12 වැනිදා යළි නඩුව විභාගයට ගන්නා ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ට 08දා නියෝග කළේය.

සැකකාර රුසියානු ජාතිකයන් තිදෙනා විසින් විශාල ජාන කොල්ලයක් සඳහා මෙරට විශේෂිත සතුන් හා සත්ත්ව කොටස් සන්තකයේ තබාගෙන සිටි බවත්, එම නිසා මෙහි පවතින අභ්‍යන්තර කරුණු සොයා ගැනීම පිණිස විමර්ශනයක් සිදුකිරීමට අවශ්‍ය බැවින්, සැකකරුවන්ගෙන් යළි ප්‍රකාශයක් ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස වනජීවී දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනී සිටිවනජිවි අඩවි ආරක්ෂක ඒ.පී.කේ.ටී. ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

දෙපාර්ශවයේම එකඟතාව මත රුසියානු ජාතිකයන් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම එළඹෙන 16 දින නුවරඑළිය,

ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යාන කාර්යාලයේදී සිදුකිරීමට මහේස්ත්‍රාත්වරයා වනජීවී නිලධාරීන්ට අවසර ලබා දුන් අතර, සැකකාර රුසියානු ජාතිකයන් තිදෙනාට එදින පැමිණ අදාළ ප්‍රකාශ ලබාදෙන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා නියෝග කළේය.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු සීගිරිය, දඹුල්ල, හබරණ, යාල, ගිනිගත්හේන, යාපනය ආදී මෙරට ස්ථාන රැසකින් එකතු කර ගන්නා ලද දැනට මෙරටින් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හූනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, සර්පයන්, සමනලයන් ඇතුළු සත්ත්ව විශේෂ 23කට අයත් සතුන් 550දෙනකු හා ශාක වර්ගවල කොටස් විශාල ප්‍රමාණයක් සැකකාර විදේශිකයන් තිදෙනා විසින් විශේෂ බහාලුම්වල බහා නුවරඑළියේ සංචාරක නවාතැන් පොළක සඟවා තිබියදී හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීහු සොයාගත්හ.

හෝටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී.එම්.පී.කේ. ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය භාරකරු ටී.පී. දයාරත්න, වනසත්ව අඩවි සහකාර පී.එම්.පී. පනාවලගේ, වනසත්ව නියාමක ප්‍රියදර්ශන, ක්ෂේත්‍ර සභායක උදය කුමාර, රියැදුරු එස්. චන්ද්‍රලාල් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට ඒ. ඇලෙක්සැන්ඩර්, ආර්. ආර්ටේම් සහ කේ. නිකොලායි යන රුසියානු ජාතික සැකකරුවන් තිදෙනා, සතුන් හා අනෙකුත් භාණ්ඩ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

 - ශාන් හුලංනුගේ -