ටෙස්ට් ලෝක ශුරතාවේ තරඟ නිමා කිරීම සඳහා නව ලකුණු ලබාදීමේ ක්‍රමවේදයන් සලකා බැලීමට අයි.සී.සී.යේ අවධානය යොමු වී ඇත. මෙවර ටෙස්ට් ශූරතාවේ බොහෝ තරඟ ප්‍රමාණයකට 'කෝවිඩ්-19’ වසංගතයෙන් බලපෑම් ඇති වීම හේතුවෙන් අයි.සී.සී.ය මෙම තීරණය ගැනීමට හේතු වී ඇත. 

ඒ අනුව තරඟාවලිය සාර්ථකව අවසන් කිරීම සඳහා අයි.සී.සී.ය විසින් විකල්ප දෙකක් යෝජනා කර ඇත. එහි එක් පියවරක් ලෙස තරඟාවලියේ ක්‍රීඩා නොකළ තරඟ සඳහා සම ලකුණු ලබාදීමට ඔවුන් යෝජනා කර ඇත. අයි.සී.සී.ය විසින් පළමු වරට පසුගිය වර්ෂයේදී සංවිධානය කළ මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය එළඹෙන වසරේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත. මේ හේතුවෙන් මේ වනවිට අයි.සී.සී.ය දැඩි අර්බුදයකට මුහුණපා ඇත්තේ මෙම තරඟාවලියේ ලකුණු කළමනාකරණය කරමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගැනීමයි. 


එම නිසා ඉහත සම ලකුණු ලබාදීමේ ක්‍රමවේදය සංවිධායකයන් තීරණය කර ඇත්තේ ඊට එක් විකල්පයක් ලෙසිනි.

මෙහිදී අනෙක් විකල්පය ලෙසින් ඔවුන් යෝජනා කරන්නේ පසුගිය මාර්තු මස අග වන විට පැවැත්වූ තරඟ ප්‍රතිඵල මත ලබාගත් ප්‍රසාද ලකුණු පදනම්ව අවසන් ප්‍රතිඵලයක් ලබාදීමයි. මේ අතර 'කෝවිඩ්-19" තත්ත්වය යටතේ තරඟ පැවැත්වීම පිළීබඳ මේ වනවිට අවධානය යොමු වී තිබීමද තරඟාවලියේ ඉතිරි තරඟ සාර්ථකව පැවැත්වීමට කොළ එළි දැල්වීමක් වනු ඇත. කෙසේ වෙතත් ලොව පුරා 'කෝවිඩ්-19" තත්වය පැතිරීයාමත් සමගින් ටෙස්ට් තරගාවලි 06ක් කල්දැමීමට සංවිධායකයන් පියවර ගත් අතර, ඊට අයත්වූ ටෙස්ට් තරඟ සංඛ්‍යාව 12කි. ඒ අතර ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරඟ දෙකකින් යුත් තරඟාවලිය මෙන්ම ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟ තුනකින් යුත් ටෙස්ට් තරඟාවලියද වේ. 

කෙසේ වෙතත් මෙම තරඟාවලි පැවැත්වීම පිළිබඳ අයි.සී.සී.ය හා එහි සාමාජිකයන් පසුගිය සති කිහිපය තුළ සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී අවසන් මහා තරඟය කල් දැමීම මෙන්ම සැලසුම් කළ පරීදි තරඟාවලිය පැවැත්වීම සම්බන්ධයෙන්ද පාර්ශව අතර සාකච්ඡාවට භාජනය විය. 

පසුගිය වසරේ අගෝස්තු පළමුවැනිදා ආරම්භ වූ මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය එළඹෙන 2021 වර්ෂයේ ජුනි 14 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා තවත් ලැයිස්තුගත කළ තරඟාවලි 09ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, එහි ඇති තරඟ සංඛ්‍යාව 26කි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එංගලන්ත ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ටොම් හැරිසන් පවසන්නේ සැලසුම් කළ පරිදි එළඹෙන වසරේ තරඟාවලිය පැවැත්වීමට නියමිත බවයි.


තරඟාවලියේ මේ වනවිට පවත්වා ඇති තරඟවලට අනුව ඉන්දියාව පෙරමුණේ පසුවන්නේ තරඟ 09කින් 07ක් ජය ගනිමිනි. ඔවුන් ප්‍රසාද ලකුණු 360ක් හිමි කරගෙන ඇත. එහි දෙවැනි ස්ථානය තරඟ 10කින් 07ක් ගෙන එක් තරඟයක් ජය පරාජයෙන් තොරව නිමා කළ ඔස්ට්‍රේලියාව හිමි කරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 296ක් හිමි කරගනිමිනි. තෙවැනි ස්ථානයේ පසුවන එංගලන්තය තරඟ 15කින් 08ක් ජයගෙන තරඟ තුනක් ජය පැරදුමින් තොරව නිමා කරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 292ක් හිමි කරගනිමිනි.

මෙහි 06 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව තරඟ 04කට සහභාගි වී ඉන් එක් තරඟයක් ජයගෙන හා එක් තරඟයක් ජය පැරදුමින් තොරව නිමා කරගෙන ඇති අතර, ඔවුන් ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 80කි.