ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා ආසාදනය වී තිබේ.

එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සඳහන් කළේ, කළමනාකරණ පීඨයේ තෙවනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට එලෙස කොරෝනා ආසාදනය වී ඇති බවයි.

පානදුරේ පදිංචි ඇය ප්‍රතිකාර සඳහා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.

අදාළ සිසුවියගේ මව, පානදුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරිනියකි.

පානදුර රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ හේතුවෙන් එම ඒකකයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් 20 කට ආසන්න පිරිසක් PCRපරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය මේ ගැන නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ,

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තීරණ විද්‍යා අධ්‍යයනාංශයේ ඉගෙනුම ලබන තෙවන වසර සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව උපකුලපතිතුමා විසින් අප වෙත දන්වා එවා ඇත.

පානදුර ප්‍රදේශයේ පදිංචි එම ශිෂ්‍යයාව බෝඩිමක සිටි ශිෂ්‍යාවක් වන අතර ඇය පසුගිය 04 වැනිදා විශ්වවිද්‍යාලයට පැමිණ ඇත.

ඊයේ දිනයේදී(09) මෙම ශිෂ්‍යාවට සිදුකරන ලද PCR පරීක්ෂණයෙන් ඇයට Covid 19 වැළඳී ඇති බවට තහවුරු වී ඇත.

අද දිනයේ දී(10) ඇගේ බෝඩින් කාමරයේ රැඳී සිටි ශිෂ්‍යාවන්ට හා හෙට(11) දිනයේ දී ඇගේ ආශ්‍රිතයන්ට PCR පරීක්ෂණ සිදු කරන බවත්, දැනට කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර වල රැඳී සිටින සිසුන්ට එයින් පිට නොවන ලෙසත් උපකුලපතිතුමා දැනුම් දුන් අතර අනෙකුත් සියළුම සිසුන් සෞඛ්‍ය ආරක්ෂිතව වගකීමෙන් කටයුතු කරන ලෙස මහා ශිෂ්‍ය සංගමය ලෙස අප දැනුම් දී සිටිමු.

කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර වල රැඳී සිටින සිසුන්ට අවශ්‍ය ආහාර නේවාසිකාගාර උප ශාලාධිපතිවරුන් හරහා ලබා දෙනු ඇත.

ඉදිරියේදී යම් විශේෂ තත්වයක් ඇති වුවහොත් විශ්වවිද්‍යාලයීය පරිපාලනය සමග සාකාච්ඡා කොට දැනුම් දීමට අප බලාපොරොත්තු වෙමු.