පෞද්ගලික ආරවුලකදී පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ විත්තිකරුවකුට මරණීය දණ්ඩනය නියම කළ  කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඔහු සමගම චෝදනා ලැබ සිටි විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කළාය. මොහොමඩ් නව්ශාඩ් ඩූල් නෞෂාඩ් නමැති විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින්  තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් ඔහුට මරණ  දඬුවම නියම කළ විනිසුරුවරිය මොහොමඩ් සාලි හසිත්  නමැති විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි
තීරණය කරමින් ඔහු නිදොස් කොට නිදහස් කළාය.

2002 ජුනි මස 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ජින්තුපිටියේදී ටෝනි නමැත්තාට පිහියෙන් ඇන ඔහුගේ මරණය සිදුකළ බවට නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව  චෝදනා නගා තිබිණි.  මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන් මරණකරු සමග ඇති කරගත් පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් පසුව මරණකරුට පිහියකින් 24 පොළකට ඇන ඔහුගේ මරණය සිදුකළ බව නඩු විභාගයේදී අනාවරණය විය.   පළමු විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින්  තොරව ඔප්පු කර ඇතැයිද දෙවැනි විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයිද විනිසුරුවරිය තීරණය  කළාය. 

මෙම නඩුවේ පළමු විත්තිකාර මොහොමඩ් නව්ශාඩ් නෞෂාඩ් නමැත්තා නඩු විභාගය අතරතුර අධිකරණයට මගහැරයෑම නිසා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබූ අතර නඩු විභාගය අතරතුර කෙසෙල්වත්ත පොලිසිය ඔහු  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.  නඩු විභාගය අවසානයේදී  ඩූල් නෞෂාඩ් නමැති විත්තිකරුට විනිසුරුවරිය මරණ දඬුවම නියම කළාය.

-මනෝප්‍රිය ගුණසේකර-