කඩුවෙල අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් ඊ.එම්. හේමපාල ඒකනායක මහතාගේ කඩුවෙල, කොතලාවල විහාර මාවතේ නිවෙසට ඔවුන් රැඳී සිටින අවස්ථාව බලා පෙට්රල් දමා ගිනි තැබීමට උත්සාහ දැරූ සැකකරුවන් දෙදෙනා ඊයේ (13දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරුවන් දෙදෙනා ඒ සඳහා පැමිණි බව කියන මෝටර් රථයක් සහ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත. 

 ඉකුත් සැප්තැම්බර් මස 17 වැනි දින රාත්‍රියේදී මෙම සැකකරුවන් දෙදෙනා පෙට්රල් පිරවූ ප්ලාස්ටික් බූලියක් වැඩ බලන මහෙස්ත්‍රාත්වරයාගේ නිවෙස ඉදිරිපිටට විසිකර අනතුරුව ගිනි දල්වන ලද පන්දමක් ඒ දෙසට විසිකර යතුරුපැදිකින් සහ මෝටර්රථයකින් පලාගොස් තිබිණි.
ගිනි දැල් වූ පන්දම පෙට්රල් විසුරුණු ස්ථානයට පතිත නොවී ඊට මදක් අෑතින් වැටීම හේතුවෙන් කිසිදු ගිනි ගැනීමක් සිදු නොවී ඇති අතර එම සිද්ධිය වන අවස්ථාවේදී වැඩබලන මහෙස්ත්‍රාත්වරයා සහ ඔහුගේ බිරියද එම නිවෙසේ සිට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.  
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා වෙත උපදෙස් ලබාදී තිබූ බව පොලිසිය කියයි. 

 ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන සිදුකර හෙළිකරගත් තොරතුරු අනුව මෙම සැකකරුවන් දෙදෙනා දෙමටගොඩ ප්‍රදේශයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන කඩුවෙල, කොතලාවල පදිංචි බී.ඩී. උදය ශාන්ත නමැත්තාට අයත් නාවල, කොස්වත්ත පාරේ පිහිටි පර්චස් 250 ප්‍රමාණයකින් යුත් ඉඩම සංවර්ධනය කිරීම සඳහා පහත්බිම් සංවර්ධන මණ්ඩලයෙන් අවසර ඉල්ලා ඇති අතර එහි නීති නිලධාරීනි ලෙස කටයුතු කරන වැඩබලන මහෙස්ත්‍රාත්වරයාගේ බිරිය ඊට අවසර නොදීම හේතුවෙන් ඊට උරණව සැකකරු විසින් වැඩබලන මහෙස්ත්‍රාත්වරයාව සහ ඔහුගේ බිරිය වන නීති නිලධාරිනිය නිවෙස තුළම ගිනි තබා ඝාතනය කිරීම සඳහා මෙම සිද්ධිය සිදු කරන්නට ඇති බව පොලිසිය සැක කරයි. 

 ඒ සඳහා ප්‍රධාන සැකකරුගේ ගෝලයකු වන බත්තරමුල්ල, අරුක්පිටිය තලංගම දකුණ පදිංචි වයි.ඒ.ඩී කිත්සිරි නැමැත්තාව සහභාගි කරගෙන තිබු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 51 අයකු වන අතර අනෙක් සැකකරුවන් වයස අවුරුදු 47ක් පුද්ගලයෙකි. සැකකරු දෙදෙනා අද (14දා) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරී ජගත් නන්දන සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක, උප පොලිස් පරීක්ෂකවරුන් වන ප්‍රේමතිලක, මහින්ද, පොලිස් කොස්තාපල් අනුර (74109), මහත්වරු පරීක්ෂණ පවත්වති.