කොරෝනා ආසාදිතයකු සමීපව ඇසුරු කළ පුද්ගලයකු කලවාන ප්‍රාදේශීය පෞද්ගලික බැංකුවකට පැමිණ ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඊයේ (28) එම බැංකුව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවැසීය. මේ හේතුවෙන් එම බැංකු සේවකයන් ද ස්වයං නිරෝධායනයට ලක්කළ යුතු ද නැද්ද යන්න සොයා බලා
කටයුතු කරන බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවැසීය.

කලවාන ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවකට පිටින් තේ දලු රැගෙන ආ පුද්ගලයකුට කොරෝනා  ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම පුද්ගලයා ළඟින් ඇසුරු කළ පුද්ගලයත් නිවෙස් නිරෝධායනයට ලක්කළ බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවැසීය. එම  කර්මාන්තශාලාව වසා දැමිම පිළිබදව සෞඛ්‍ය අධ්‍යක්ස ජනරාල්වරයාගේ අනුමැතිය ලබාගැනීමට යොමු කර ඇති බවත් සේවකයන් පනහට වැඩි ආයතන වසා දැමීම පිළිබඳව තීරණය සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි කාර්යාලයට ගැනීමට නොහැකි බවත් කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවැසීය. 

පුද්ගලයන් පහළොස්දෙනකු පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු කර ඇති බවත් එම පී.සී.ආර්. පරික්ෂණ අනුව කොරෝනා රෝගීන් වාර්තා වුවහොත් තත්ත්වය මෙයට වඩා වෙනස් විය හැකි බව ද කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවැසීය. මේ වනවිටත් කලවාන නගරයේ ඇතැම්  පිරිස් නිකරුණේ ගැවැසෙන බවත් ඔවුන් මුඛ ආවරණ නොමැතිව අනාරක්ෂිතව ගැවැසෙන බවත් අවවාද දුන්නත් ඔවුන් එය ගණනකට නොගන්නා බව ද කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.