කොවිඩ් වසංගතය වැළඳුණු රෝගියකු කළුබෝවිල රෝහලින් පිටතට පන්නා දැමීයැයි වෛද්‍යවරයකුගේ නමක් ද සඳහන් කරමින් මුහුණුපොත ඔස්සේ අසත්‍ය පුවතක් ප්‍රචාරය කළ පුද්ගලයකු පෙරේදා (5) රාත්‍රී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා 60 හැවිරිදි අයෙකි.

සැකකරු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා කළුබෝවිල රෝහලට ගිය අවස්ථාවේදී අදාළ නම සඳහන් වෛද්‍යවරයා එලෙස සිදු කළ බව පවසමින් එම සටහන දමා තිබූ බව පොලිසිය කියයි. 

එම වෛද්‍යවරයා පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි. වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ .


- බිමල් ශ්‍යාමන් ජයසිංහ -