මහනුවර ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින් මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ මත්ස්‍ය අළෙවි පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ.

පෑලියගොඩ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ මත්ස්‍ය අළෙවිය සදහා මසුන් රැගෙන එන බැවින් කොවිඩ්-19 වයිරස ව්‍යාප්තියක් සිදුවීමට පවතින

ඉඩකඩ සැලකිල්ලට ගෙන මධ්‍යම වෙළඳ පොළෙහි මත්ස්‍ය අළෙවි පරිශ්‍රයට මසුන් තොග රැගෙන ඒම තාවකාලිකව අත්හිටවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසිය.

මහනුවර මත්ස්‍ය වෙළෙඳ පොළ ආශ්‍රිතව අද (26) සිට පී. සී. ආර් පරීක්ෂණ ආරම්භ කරන බවත් මෙම පරීක්ෂණ ප්‍රතිඵල අනුව මත්ස්‍ය අළෙවි පරිශ්‍රය වවසා දැමීම හෝ විවෘත කිරීම තීරණය ඉදිරියේදි කරන බවත් නාගරික කොමසාරිස්වරයා සදහන් කළේය.

මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ හා නගරයේ අනෙකුත් සියලුම වෙළෙඳ සැල් සෞඛ්‍යය ආරක්ෂිත නීති රීති වලට අනුව ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් මෙම උපදෙස් නොතකන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද  මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසිය.

(චමිල් රුපසිංහ)