ගාල්ල ලබුදූව කුරුන්ද කන්ද ප්‍රදේශයේ පදිංචි 23ක් හැවිරිදි තරුණයෙකුට කොවිඩ් අසාදිත වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබුණි. ඔහුට කොරෝනා වැළඳුණ ආකාරය ප්‍රහේළිකාවක් බව පැවසුනේ ඔහු කිසිදු ආශ්‍රිතයෙකු හා සම්බන්ධ බවට මුලදී තොරතුරු නොලද නිසාය.


 23 හැවිරිදි මෙම තරුණයා ඊයේ (28) ජපානය බලා පිටත්ව යාමට සූදානමින් සිටි තරුණයෙකු වූ අතර විදෙස් ගතවීමට පෙර පීසීආර් පරීක්ෂණ වාර්තාවක් ලබාගතයුතු බැවින් එය සිදු කරගැනීමේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දැනගන්නට ලැබී විස්මයට පත්ව තිබේ. පසුව නැවත කරන ලද පරීක්ෂණ වලින්ද ඔහු ධනාත්මක විය.

ඔහුගේ කොරෝනා සම්බන්ධය කවර ආකාරයට සිදුවිණිද යන්න දැනගැනීමට සෞඛ්‍ය අංශ දීර්ඝ ප්‍රශ්න කිරීමක් සිදු කළද මුලදී එම ප්‍රශ්න කිරීම් කිසිවක් ඵලදායී වී නැත.

කෙසේ වෙතත් පසුව මොහුගේ ඥාතියෙකු පසුගියදා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වී නිවසට පැමිණ තිබුන ආකාරය දීර්ඝ සොයා බැලීමකදී අනාවරණය විය. සෞඛ්‍ය අංශ නිලධාරීන්ට නිරෝධායනය අවසන් කළ පුද්ගලයා තමන් එවැන්නක් සිදු කළ බව වාර්තා සටහන් කර නැත.

ඔහු යාළුවන්ට නෑයන්ටවත් ඒ ගැන නොකියන්නට වගබලාගෙන ඇත.
සෞඛ්‍ය අංශ පවසන්නේ මොහුගේ ඥාතියා නිරෝධායනය අවසන් කර සිය නිවසට පැමිණ ඇතත් ඒ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කර නොතිබීම වරදක් බවය.

නිරෝධායනය අවසන් කර පැමිණෙන පුද්ගලයින් පිළිබඳව ඒ ඒ ප්‍රදේශවල සෞඛ්‍ය ආයතන සහ නිරෝධායන මධ්‍යස්ථාන අතර විධිමත් සම්බන්ධතාවයක් නොපවතින බව මෙවන් සිදුවීම් තුළින් පැහැදිලි වන බවත් රටේ කොරෝනා වසංගත තත්වය තව දුරටත් වර්ධනය වීමට මෙවැනි තත්වයන්ද ප්‍රබල ලෙස බලපානු ලබන බවත් මේ ගැන තොරතුරු ඉදිරිපත් කළ සෞඛ්‍ය නිලධාරීන් දන්වා ඇත..