ජනාධිපති සමාව ලැබ නිදහස්ව සිටින රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරුවන දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ වහාම යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාත්තා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ජනවාරි 09 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 28 වැනිදා දින නියම කළේය. 

මෙම පෙත්සම අගවිනිසුරු නොමැතිව වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ එදින කැඳවීමට ද අධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සහ එස්. තුරේරාජා යන මහත්වරුන්ගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවිණි. 

කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනුකළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, දොන් ශ්‍රාමන්ත ඇත්තනී ජයමහ,

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලැබ සිටිති. 

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට මැදිහත් පාර්ශව කරුවකු වශයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙනී සිටියේය.ගොනුකර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

“දෙවැනි වගඋත්තරකරු රෝයල් පාර්ක් ඝාතන නඩුවේ විත්තිකරු වේ. ඔහුට නියම කර ඇති මරණ දඩුවමෙන් නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව දී ඇති බව මාධ්‍ය මගින් දැන ගන්නට ලැබිණි.

ජනාධිපතිවරයාට මෙවැනි සමාවක් දීමට බලයක් තිබුණ ද අමානුෂික මිනීමැරුමක විත්තිකරුවකු වන දෙවැනි වගඋත්තරකරුට සමාව නොදිය යුතුව තිබිණ.

මෙයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවේ. එබැවින් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද, තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

එසේම දෙවැනි වගඋත්තරකරුට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම් විභාගය නිමවනතුරු පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.

මැදිහත් පාර්ශවකරු වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පෙනී සිටියේය.


- තිළිණි ද සිල්වා -