වවුනියාව, සෙට්ටිකුලම, මැණික්ෆාම් ප්‍රදේශයේ ඉපැරැණි පුරාවිද්‍යා ස්මාරක සහිත ස්ථානයක් කිසියම් පිරිසක් ඩෝසර් රථ යොදාගනිමින් විනාශ කර ඇති බව සෙට්ටිකුලම ප්‍රදේශවාසීහු පවසති. යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපොළක ආසන්නයේ වූ මෙම පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් රථ යොදාගනිමින් විනාශකර ඇති බව ද ප්‍රදේශවාසීහු කියති.  අනුරාධපුර යුගයට අයත් බවට සැලකෙන ගල් කණු රැසක පාදම් හා පුරාවිද්‍යා ස්මාරක කිහිපයක් එලෙසම විනාශ කර ඇති අතර ඇතැම් පුරාවිද්‍යා සලකුණු තිබූ ස්ථානයෙන් ඉවක්කර ඇති බව ද පැවසේ. මෙලෙස සෙට්ටිකුලම ප්‍රදේශයේ ස්ථාන රැසක පුරාවිද්‍යා උරුමයෙන් සංවිධානාත්මක පිරිසක් විසින් විනාශ කරනු ලැබ ඇති බවත් මෙම ක්‍රියාව සිදුකළ පිරිසට
එරෙහිව තවමත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවටත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.

සාමාන්‍ය වැසියකු විසින් පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කළේ නම් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාළ ස්ථානය ඩෝසර් රථ යොදා විනාශකර සතියකට අධික කාලයක් ගත වුවද විනාශ කළ  පුද්ගලයන්ට එරෙහීව නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් ඔවුහු කියති. ප්‍රදේශවාසීන් පැවසුයේ සෙට්ටිකුලම ප්‍රදේශයේ  පවත්වාගෙන යන යුද හමුදා ගොවිපොළ වටා පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් හමුවී තිබූ අතර මෑත කාලය වන විට අදාළ ස්ථානයේ පමණක් නටබුන් ඉතිරිව පැවතිය ද එය ද මේ වන විට විනාශ කර ඇති බවය. ඇතැම් අන්තවාදී කණ්ඩායම් සෙට්ටිකුලම හා එම ප්‍රදේශයේ බෞද්ධ පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමේ සැලසුම් සහගත ක්‍රියාවලියක නිරතව ඇති අතර, ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු නොවීම ද කනගාටුවට කරුණක් බවත් ප්‍රදේශවාසීහු කීහ.

අදාළ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින ආරක්ෂිත ප්‍රදේශයක් බැවින් විනාශය සිදුකළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඔවුහු  ඉල්ලා සිටිති. සෙට්ටිකුලම මැණික්ෆොම් ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් රථ යොදා විනාශ කිරීම සම්බන්ධයෙන් උතුරු පළාතේ පුරාවිද්‍යා නිලධාරින්ගෙන් සිදුකළ විමසීමක දී ඔවුන් පෑවසුවේ අදාළ ස්ථානය ආසන්නයේ යුද හමුදාව විසින්  ගොවිපොළක් පවත්වාගෙන යනු ලබන අතර වගා කටයුතු පුළුල් කිරීම සඳහා ඉඩම් එළිපෙහෙළි කිරීමේ දී පුරාවිද්‍යා ස්ථානය ද ඩෝසර් කර ඇති බවට අනාවරණය වූ බවත්ය.  ඒ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඉදිරි කටයුතු සඳහා උපදෙස් ඉල්ලා ඇති බවත් ඒ අනුව කටයුතු සිදුකරන බවත් එම නිලධාරිහු වැඩිදුරටත් පැවසූහ.

-සිතුම් චතුරංග-