තම රජයේ ඩීල් එක පවතින්නේ ජනතාවත් සමඟ බවත් ජාත්‍යන්තරය සමඟ කිසිඳු ඩීල් එකක් නොමැති බවත්, නොබැඳි පිළිවෙත අනුගමනය කරන බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

හෙතම මේ බව පැවසුවේ, ඊයේ (28දා) පොළොන්නරුවේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිම රටකට යටත් නොවන නොබැඳී පිළිවෙත අනුව කටයුතු කරන බව පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බවය.

මාධ්‍යවේදීන්:

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්තුමා ලංකාවට ඇවිල්ලා තිබෙනවා. විරුද්ධ පක්ෂය විවිධ මත පළ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණඩුවේ මතය කුමක් ද?

නාමල් රාජපක්ෂ මහතා: 

විරුද්ධ පක්ෂයට කිසිම මතයක් නෑ කියන එකයි කියන්න තියෙන්නේ. මොකද ඔය විරුද්ධ පක්ෂය පහුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කාලයේ, සිරිසේන මහත්තයගේ ආඩු කාලයේ ඇමෙරිකාවේ එක්කෙනෙක් ආව වෙලාවේ ඒක ලොකු රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් විදිහටයි පෙන්නුවේ. එදා රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් විදිහට පෙන්නපු අය තමයි අද මේ විදිහට කලබල වෙලා කෑ ගහන්නේ.

ඒ හින්දා එතුමන්ලාට කියන්න තියෙන්නේ එතුමන්ලාගේ කාලේ වගේ හැංගි හොරා රාජ්‍ය නායකයෝ හම්බ වෙන්න ඕන නෑ අපට. මොකද අපේ ඩීල් එක තියෙන් රටේ ජනතාව එක්ක. ජාත්‍යන්තරය එක්ක අපේ ඩීල් එකක් නෑ. හැබැයි එක්සත් ජාතික පක්ෂය දැන් ඔය කියන විපක්ෂය එක්ක තමයි ජාත්‍යන්තරය ඩීල් දැම්මේ. මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණයක් කරනවා. හොඳයි. ඔය උද්ඝෝෂණයම පහුගිය ආණ්ඩු කාල් ඇමෙරිකාවෙන් එන කොට කළා නම් ඉවරයි. හැබැයි දැන් කරන්නේ ඇයි එතකොට සද්ද වහලා ඉඳලා. ඒක හින්දා එක්සත් ජාතික පක්ෂයට සජිත් ප්‍රේමදාස මහත්තයාට, ජනතා විමුක්ති පෙරමුණට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි අපේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ. නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අපට තියෙන්නේ. ඒ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය අනුව ඕන කෙනකුට එන්න පුළුවන්. ඕන කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි ඒ අය එක්ක ගිවිසුම්ගත වෙනකොට අපි අපේ ප්‍රතිපත්ති මත කටයුතු කරන්නේ. ඉන්පිට යන්නේ නෑ. 

මාධ්‍යවේදින්:

මයික් පොම්පෙයෝ මහතා තමයි එම්.සී.සී ගිවිසුමේ සභාපතිවරයා. මහා සංඝරත්නයත් මේ පිළිබඳව විරෝධය පළ කරලා තියෙනවා?

නාමල් රාජපක්ෂ මහතා:

එතුමා ඇයි එන්නෙ කියන එක එතුමාගෙන් අහන්න ඕන. ඒක එතුමා කියයි. එතුමා සාකච්ඡාවකට රාජා තාන්ත්‍රික වශයෙන් ආවාම ඉන්දියාවට, මාලදිවයිනට යනවා. ඒ අතරේ ලංකාවට ඇවිල්ල තියෙනවා. හැබැයි එක කාරණයක් මතක තියාගන්න. වටහා ගත යුතු කාරණය තමයි ගෝලීය දේශපාලනය තුළ ලංකාව කොතරම් වැදගත් රටක්ද කියන කාරණය. පහුගිය දවස්වල අපි දැක්කා පොම්පෙයෝ මහත්තයා ලංකාවට එන කාරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තිබ්බා. පොම්පෙයෝ මහත්තයත් ප්‍රකාශයක් කරලා තිබ්බා. මිලියන 22ක් ඉන්න අපේ රට කොතරම් ගෝලීය දේශපාලනයේ වැදගත්ද කියලා. එහෙම වැදගත් අපි එක රටකටවත් හිස නමන්න යන්නේ නෑ. සංඝරත්නය සමඟ අපි එකඟ වෙනවා. නමුත් අපි ගිවිසුම් අත්සන් කරන්න යන් නෑ. කෙනෙක් එනකොට අපට එන්න එපා කියන්න බෑ. එන්න එපා කියන එක වැරදියි. නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තියනවා නම් ඔය කියන ඕන කෙනෙකුට එන්න පුළුවන්. හැබැයි කියන ගිවිසුම්වලට යටත්ව අපි ඒ අය හම්බ වෙන්නේ නෑ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැහැදිලිව මේ ප්‍රකාශනය කරලා තියෙනවා. අපි ගරුතර මහා සංඝරත්නයේ මතයට හිස නමනවා.

- තුෂාර තෙන්නකෝන් -