මිගමුව පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 56 හැවිරිදි වියෙහි පසුවන පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකින් හෙළිවූ බව සෞඛ්‍ය බලධාරින් සඳහන් කරයි. ඉකුත් 06 වෙනිදා මීගමුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට පැමිණි මෙම පුද්ගලයා උණ රෝගයෙන් පෙළීම නිසා ප්‍රතිකාර ලබා ගෙන ඇත. එහිදී ඔහු PCR පරික්ෂණයක් සිදුකොට ඇති අතර
එහි ප්‍රථිපල අනුව ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයා කටුවාපිටිය  පදිංචිකරුවෙක් බව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් වසන්ත මහතා සඳහන් කළේය.
මෙම පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදනය වූ ආකාරය මේ දක්වා හෙළිවී නොමැති බව ඔහු පැවසී ය.

මේ අතර මෙම පුද්ගලයා ප්‍රතිකාර ගැනීමට පැමිණි මීගමුවේ පෞද්ගලික රෝහල විෂබීජහරණය කොට පැය 48ක කාලයක් සඳහා වසා දමා ඇති අතර සේවකයින් පිරිසක්ද ස්වයං නිරෝධායනයට යොමු කොට ඇත.

මේ වන විට මිගමුව නගර සභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත රෝගීන් 06 දෙනෙක් වාර්තා වී ඇති බවත් ඉන් සිව්දෙනෙක් මීගමුව බ්‍රැන්ඩික්ස් ආයතන සේවකයින් බවත් වාර්තාවේ.