නේපාලයේ සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 100,000ක සීමාව පසුකරන වටපිටාවක, ගෙවීගිය දිනයේ එරට ආසාදිතයන්ගේ නව වාර්තාවක් තබා ඇති බව නේපාල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  ඒ අනුව ගෙවීගිය දිනයේ එරට නව කොරෝනා වෛරසය ආසාදිතයන් 5,008ක් වාර්තා වූ අතර, එය රටේ මේ දක්වා වාර්තා වූ ඉහළම  දෙනික ආසාදන සංඛ්‍යාව වෙයි. මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 105,684ක්  දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය  පෙන්වා දෙයි.

මෙම දකුණු ආසියානු රාජ්‍ය මැතකදී නව COVID-19 ආසාදනවල වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර,

එහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සති හතරක් තුළ දෙගුණ වූ බව අමාත්‍යාංශය පවසයි. එමෙන්ම එරට සෞඛ්‍ය අමාත්‍යාංශය. විසින් COVID-19 වෛරසයට සම්බන්ධ මරණ 14ක්ද නිවේදනය කළ අතර, මේ සමග රටේ සමස්ත මරණ 614ක් දක්වා ඉහළ ගොස් තිබේ.  සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව, රටේ සමස්ත ආසාදනවලින් තුනෙන් එකක් පමණ මෙතෙක් වාර්තා වී ඇත්තේ රටේ අගනුවර වන කත්මණ්ඩු නුවරිනි. මේ අතර, නේපාල  සංස්කෘතික, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය යෝගේෂ් හට්ටරායි සෙනසුරාදා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්, තමා COVID-19 වෛරසය සඳහා ධනාත්මක බව කීවේය.