නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 26දෙනෙකුට කෝවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බවත්, මෙම අවදානම් තත්ත්වය ගැන නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා සැලකිල්ලක් නොදක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා චෝදනා කර සිටියි.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා කඳුරට ජනතා පෙරමුණේ නායක වේළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා 27දා නුවරඑළියේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා,

"අද සියලු දෙනාම දන්නවා කොරෝනා වෛරස් තත්ත්වය හැම තැනම පැතිරිලා යනවා කියන එක. ආණ්ඩු තමන්ට ඕන විදිහට ඡන්දේ දිනා ගෙන පසුව 20වැනි සංශෝධනයත් දිනා ගෙන දැන් කොරෝනා සම්බන්ධව අතහැර දමා තිබෙනවා. කොරෝනා සම්බන්ධව පසුගිය දිනවල ගත් උත්සාහය දැන් නොමැති බව අපි චෝදනා කර සිටිනවා. මේ සම්බන්ධව ආණ්ඩුව විශේෂ උනන්දුවක් දක්වන්න ඕන කියන එක අපි කියනවා.


මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ 26දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශවලින් වාර්තා වෙනවා. එයින් 18 දෙනෙක් අඹගමුව කෝරළයේ. මෙම තත්ත්වයට නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂතුමා සැලකිල්ලක් දක්වන්නේ නැති බවට පළාතේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් අපට පැමිණිලි කර තිබෙනවා. මේ සම්බන්ධව මම උසස් නිලධාරීන්ට පැමිණිලි කළා. ඒ අය සොයා බලන බව කිවා. නමුත් මෙවැනි තත්ත්වයකදී එතුමා ඇතුළු කාර්යමණ්ඩලය හොඳින් වැඩ කළ යුතු බවට අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් ගන්නා උත්සාහය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් නොගන්නා බවයි අපට වාර්තා වී තිබෙන්නේ. ඒ නිසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කර මේ වසංගතය පැතිරී යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවරක් ගත යුතුයි කියා අපි කියනවා. 

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා සම්බන්ධව සොයා බලා එතුමා නිවැරදි නම් අපට ප්‍රශ්නයක් නෑ. වැරදි නම් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර එතුමාට ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු කරන්න ඕන කියන එක අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පවසා සිටියේය.

- ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක -