රටටම ඇදිරිනීතිය පැනවීම පහසු දෙයක් වුවත් එසේ නිකරුණේ අවිචාරවත් විදියට ඇදිරිනීතිය පනවා රට අකර්මණ්‍ය කිරීමට රජය සූදානම් නැති බවත් රෝගීන් හමුවීම සැලකිල්ලට ගෙන යම් යම් ප්‍රදේශවලට පමණක් ඇදිරිනීතිය පැනවීමට තීරණය කෙරුණු බවත් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවැසුවාය. සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවැසුවේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේ ද කීවාය.

“ඇඳිරිනීතිය පනවන්නේ අවශ්‍යතාව අනුවයි.  රෝගීන් හමුවීම අනුව ඒ තීරණ ගන්නවා. මුලදී කරලා වැඩක් නැහැ. අපි තීන්දු ගන්නේ සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අනුවයි. දේශපාලන අවශ්‍යතා අනුව නොවෙයි. අපි ඊයේ පී.සී.ආර්. පරීක්ෂණ හාරදහස් අටසියයක් කළා. ඒ කර්මාන්තශාලාවේ

අය වගේම ඔවුන්ගේ සමීප පිරිස්. මීට අමතරව සමාජය තුළ පරීක්ෂණ එක්දහස් අටසියදහසයක් කළා. සැක සහිත  රෝගීන් හා රෝගීන් අපි එකට ප්‍රවාහනය  කරන්නේ නැහැ. 

පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වූ අය අප ගෙන යන්නේ ගිලන් රථවලිනුයි. ප්‍රතිකාර සඳහා රෝහල්  ගණනාවක් සූදානම් කරලා තියෙනවා. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලත් ලබාගත්තා. ජනාධිපති හා අගමැති මේ ප්‍රශ්නය ගැන සෞඛ්‍ය අංශ සමග නිරන්තරව සාකච්ඡා කරනවා. විශේෂ  කැපවීමකින් අද උදේත් ජනාධිපතිතුමා  සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සමග සාකච්ඡා කළා. මම මෙතැනට ආවේත් ඒ සාකච්ඡාවේ ඉඳලයි. රෝගය ආවේ කොහොමදැයි සොයා ගැනීමට දිගටම පරික්ෂණ පවත්වනවා. බුද්ධි අංශ හා සෞඛ්‍ය අංශ එකට එකතු වෙලා ඒ කටයුත්ත කරනවා. කොවිඩ් මර්දනයේදී ශ්‍රී ලංකාව පරමාදර්ශී රටක් බවට පත්වුණා. අප ඉදිරියටත් ඒ ආකාරයෙන්ම කටයුතු කරනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිරෝධායනය සඳහා හෝටල් සූදානම් කරලා තියනවා."

-අංජුල මහීක වීරරත්න-