දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් එකතු කළ PCR පරීක්ෂණ සාම්පල 3000ක් පමණ පරීක්ෂණවලට ලක් නොකර රසායනාගාරවල තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (13 වැනිදා) පැවැති සාකච්ඡාවක දී සහ රාජගිරියේ පිහිටි කොවිඩ් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී පෙරේදා (12 වැනිදා) පැවැති සාකච්ඡාවක දී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

PCR පරීක්ෂණ ප්‍රතික්‍රියා කට්ටල හිඟය රසායන ද්‍රව්‍ය හිඟය සහ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගෙන් ලබා ගන්නා සාම්පල ප්‍රමාණය අධික වීම නිසා මෙම තත්ත්වය උදා වී ඇත. මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ

පරීක්ෂණ කිරීමේ ප්‍රමාදයක් ඇති බවයි.

සාම්පල ධාරිතාවය වැඩි වීම හේතුවෙන් ඊට සරිලන රසායනාගාර සංඛ්‍යාවක් සහ යන්ත්‍ර සංඛ්‍යාවක් සූදානම් නොමැති නිසා මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බවද ඔහු පැවසුවේය. ඉදිරියේ දී නව PCR යන්ත්‍ර ආනයනය කර රසායනාගාරවල ස්ථාපිත කිරීමටද නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ මාර්තු 17 වැනි දින සිට මේ දක්වා PCR පරීක්ෂණ තුන් ලක්ෂ පනස් දාහක් සිදු කර ඇත. දිනක PCR පරීක්ෂණ 5000ක් සිදු කිරීමට අවශ්‍ය ප්‍රතික්‍රියක කට්ටල සපයන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත.

කොවිඩ් වසංගතය ආරම්භයේ දී PCR පරීක්ෂණ 50000ක් අවසන් කිරීම දින 95ක් ගත වී තිබේ. නමුත් ලක්ෂ තුනේ සීමාවේ සිට තුන් ලක්ෂ පනස් දහස සීමාව දක්වා වූ PCR පරීක්ෂණ කිරීමට ගත වී ඇත්තේ දින නවයක කාලයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

උදයජීව ඒකනායක