පෞද්ගලික අංශය හරහා සිදුකරන සමහර පී.සී.ආර්. පරික්ෂණ වාර්තා පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන හෙයින් සියලුම පී.සී. ආර්. පරීක්ෂණ රජයේ පරික්ෂණාගාරවලින් සිදුකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ (13දා) ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය සඳහන් කරයි.
රජය සතු පරික්ෂණාගාර තුළින් පැය විසිහතරේම පරික්ෂණ සිදුකළ හැකිව තිබුණද, මේ වනවිට දෛනිකව පරීක්ෂා කරන වාර්තා ඉදිරිපත් වන්නේ හාරදහසකට (4000) ආසන්න ප්‍රමාණයක් පමණක් බවද එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේය. පසුගිය දිනවල දිනකට පී.සී.ආර්. පරික්ෂණවලට අදාළ සාම්පල් 6000කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන තිබුණද, දිනකට ලබාගන්නා සාම්පල් ප්‍රමාණයට අදාළ සියලුම වාර්තා දිනක් තුළ ලබා දීමට නොහැකිව තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා පෞද්ගලික රසායනාගාරවලට සාම්පල් යොමු කිරීමට කටයුතු කරන බවත්, මෙහිදී සමහර පරීක්ෂණ වාර්තවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලු ඇති වූ බවත් කී ඒ මහතා, පෞද්ගලික අංශයේ රසායනාගාරයක සිදුකරන පරීක්ෂණයකින් කෝවිඩි-19 රෝගියෙකු හඳුනාගත් පසු බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය තුළද නැවත පරීක්ෂාවක් සිදුකිරීමට සිදුවන බවද පවසා සිටියේය.
මෙම තත්වය සලකා බලා රජය සතු රසායනාගාර හරහා පී.සී.ආර්. පක්ෂණ සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බවත්, කෝවිඩ්-19 පරික්ෂණයක් වන පී.සී.ආර්.පරීක්ෂණයට අමතරව ලේ සාම්පල් පරීක්ෂාවකින්ද කෝවිඩ්-19 රෝගීන් හඳුනාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.
දිනකට කෝවිඩ්-19 පරීක්ෂණ තුන්දහසකට අධික ප්‍රමාණයක් සිදු කිරීමට මුල්ලේරියාවේ රසායනාගාරයක් ස්ථාපිත කළ බවත්, එහෙත් එම ආයතනය මඟින් දිනකට සිදුකරනු ලබන්නේ පරීක්ෂණ 1500කට ආසන්න ප්‍රමාණයක් පමණක් බවත් කුමුදේශ් මහතා පවසා සිටියේය. මීට අමතරව මඩකලපුව, බදුල්ල, කරාපිටිය, රත්නපුර, මහනුවර ප්‍රදේශවල පිහිටා තිබෙන රසායනාගාර තුළද පරීක්ෂණ 1500කට ආසන්න ප්‍රමාණයක් සිදුකළ හැකි වුවද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවද ඔහු කියා සිටියේය. ක්ෂය රෝග මර්දන ඒකකය සතුව යන්ත්‍ර තිස් හයක් තිබෙන අතර, ඒ හරහා පරික්ෂණ හාරදහසකට අධික ප්‍රමාණයක් සිදුකළ හැකි බවත්, එහෙත් අදාළ යන්ත්‍රවලින් පරික්ෂණ සිදු නොකරන බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ වනවිට පරීක්ෂණ උපරිම ලෙස සිදුකරනු ලබන්නේ බොරැල්ල වෛද්‍ය පරීක්ෂණාගාරයේ හා බණ්ඩාරනායක ගුවන්තොටුපළේ පරික්ෂණාගාරය තුළ පමණක් බවත්, එම ස්ථාන දෙක මඟින් දෛනිකව පරීක්ෂණ 2200ක් පමණ සිදුවන බවත් ඒ මහතා සඳහන් කළේය. මේ නිසා පරික්ෂණ සිදුකළ හැකි සියලුම පරීක්ෂණාගාර ක්‍රියාත්මක කර සියලුම පරික්ෂණ කටයුතු සිදුකළ හැකි බවද හෙතෙම කියා සිටියේය. පෞද්ගලික අංශයෙන් පරීක්ෂා කිරීමේදී පක්ෂණ වාර්තාවල ගැටලුවලට අමතරව අය කරන මුදල පිළිබඳවද ගැටලු තිබෙන බවත්, මේ නිසා ජනතාවට අසාධාරණයක් සිදුවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
- ඉන්දික හේවාවිතාරණ -
0 Comments