පිළියන්දල මාකන්දන ජර්මන් හිතමිතුගම ප්‍රදේශයේ සුඛෝපභෝගි නිවසක මුදල් ඔටුට්වට බූරුවා ගසමින් සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයන් 13 දෙනකු ඉකුත් 11 වැනිදා අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.  අත්අඩංගුවට පත් වූවන් අතර එකම පවුලේ අක්කා සහ මල්ලි ද වන බව පොලිසිය කියයි. එම සැකකරුවන් සමග රුපියල් 65,000 මුදලක්, ජංගම දුරකථන දහයක් හා කාඩ් කුට්ටම් හතක් ද  පොලිසිය භාරයට ගෙන ඇත. මාකන්දන ජර්මන් හිතමිතුගම ප්‍රදේශයේ තාප්පයකින් වට කරන ලද නිවසක් තුළ පිරිසක් මුදල් ඔට්ටුවට බුරු ගසන බවට පිළියන්දල පොලිසියට අනුයුක්ත බුද්ධි අංශයේ නිලධාරින්ට ලද රහසිගත තොරතුරක් අනුව එම
නිලධාරින් සහ පොලිස් නිලධාරින් එක්ව එම නිවසට ඉතා සූක්ෂම ලෙස ළගාවී නිවස තුළට කඩා වැදී සැකකරුවන් කිසිවෙකුටත් පලා යාමට ඉඩ නොදී සාර්ථක මෙලෙස වැටලීම කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකාර අක්කා සහ මල්ලි නිවස ඉදිරිපිටම සිල්ලර වෙළඳසලක් පවත්වාගෙන යන අතර සිල්ලර වෙළඳසලට භාණ්ඩ මිල දී ගන්නා මුවාවෙන් මෙම පිරිස පැමිණ එහී පිටුපස දොරින් මෙම නිවස වෙත පැමිණ ඇති බව පොලිසිය කියයි. පොලිසිය නිවස වටලා එයට ඇතුළුවීමේ දී සාලයට යාබද කාමරයක මෙම පිරිස වටවී බුරුවා ගසමින් සිටි බවත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මුඛ ආවරණ පැළද නොසිටි බවත් පොලිස් නිලධාරියා පැවැසීය.

අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන් පිළියන්දල මාකන්දන හා ජර්මන් හිතමිතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි. නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සහ මුදල් ඔට්ටුවට බූරුවා ගැසිම සම්බන්ධයෙන් සැකකරුවන් හා සැකකාරිය ඉකුත් 11 වැනිදා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.  පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පරිපාලන අංශයේ ස්ථානාධිපති කමල් කොඩිතුවක්කු පොලිස් පරික්ෂක ප්‍රියදර්ශන මහත්වරුන් ඇතුළු නිලධාරිහු පරීක්ෂණ පවත්වති.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-