සියලු දුම්රිය ස්ථාන සඳහා පොලිස් නිලධාරීන් අද (06දා) සිට අනුයුක්ත කරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
දුම්රිය ස්ථාන තුළ කෝවිඩ් - 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී හෙතෙම මේ බව පැවසීය.


ඒ අනුව අදාළ මාර්ගෝපදේශ මගීන් විසින් අනුගමනය කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහාත් එසේ නොකරන මගීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටත් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මුව ආවරණ නොපලඳින මගීන් දුම්රිය ස්ථාන වෙත ඇතුළත් කර නොගන්නා ලෙසට අදාළ පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බවයි. දුම්රිය සඳහා ආසන ප්‍රමාණයට මගීන් ඇතුළත් කිරීම වෙනුවට එක් දුම්රිය මැදිරියක් තුළ ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව සීමා කර ඇති බවත්, ඒ අනුව එම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සියලු දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

- නිදර්ශනී වික්‍රමසිංහ -