නිධානයකින් ගත් බව කියමින් තඹ ලෝහයෙන් නිර්මාණය කළ බුදු පිළිමයක් ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ පනහකට අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයෙක් බකමූණ, කෝට්ටපිටිය ප්‍රදේශයේදී 09 දින අලුයම අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස විස මත්ද්‍රව්‍ය වැටලීම් එකකය කියයි. 

 මෙසේ අත්අඩංගුවට පත්ව අත්තේ බකමූණ, කොට්ටපිටිය, යාය 22 ගම්මානයේ පදිංචි අයෙකි. 
මෙම පුද්ගලයා කලක පටන් වෙළෙඳපොළේ අලෙවි කිරීම සදහා ඇති විවිධ වර්ගයේ බුදුපිළිම සහ දේව පිළිම මිලදී ගෙන එම පිළිම නිධානවලින් ලබාගත් පිළිම ලෙස පවසමින් අධික මිල ගණන්වලට ව්‍යාපාරිකයන් හට අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ. 


අත්අඩංගුවට ගත් බුද්ධ ප්‍රතිමාව උස සෙන්ටීමීටර් 16ක් වන අතර බර කිලෝ දෙකක් පමණ බව පොලිසිය පවසයි. පොළොන්නරුව කොට්ඨාස විස මත්ද්‍රව්‍ය වැටලීම් එකකයට ලද තොරතුරක් මත එම එකකයේ නිලධාරියකු බුදුපිළිමය ලබාගැනීමට පැමිණෙන ව්‍යාපාරිකයකු ලෙස යොදවා බුදුපිළිමය සමඟ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. 

 උතුරුමැද පළාත් ‍ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සහ පොළොන්නරුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ නියෝග පරිදි පොළොන්නරුව කොට්ඨාසය භාර ‍ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස විස මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසංක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් අත්තනායක (26068), හේමන්ත (53424), වසන්ත (62674), සුරංග ((9043), සොයිසා (5523), පොලිස් කොස්තාපල් චන්ද්‍රසේන (71995), දයාරත්න (73645), සඳරුවන් (69937) යන නිලධාරීන් මෙ වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ බුදුපිළිමය හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා විසින් ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. 

 හිඟුරක්ගොඩ _ ප්‍රියා