“ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට 2018 ආණ්ඩු පෙරැළියෙන් පසු කිසිම දිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මා කැදවා නැහැ. මාව විතරක් නොවෙයි ඒ ආණ්ඩුවේ අගමැති බවට පත්කරපු මහින්ද මහතා ද කැඳවා නැති බව ඔහුට කතා කළ වෙලාව් දැන ගත්තා" යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (6) පැවැසිය. ඔහු මේ බව පැවැසුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

“ආන්ඩුවක් හදාගන්න අවශ්‍ය තරමට  මන්ත්‍රීවරුන් හොයාගන්න පුළුවන් කියලා හිතාගෙන මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මාව පැත්තකට කරලා මහින්ද රාජපක්ෂට කතා කරලා අගමැතිකම දුන්නා" යැයි ද ඔහු පැවැසීය.  ඔහු එසේ කරනු ලැබුවේ ඔබේ ආණ්ඩුව සහයෝගය නොදුන් නිසා නේදැයි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසූ අවස්ථාවේ වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“එතුමාට කොහොමත් කාගෙන්වත් සහායක් තිබුණේ නැහැ. අපි ආණ්ඩුව හදනකොට අපිට හිටියේ මන්ත්‍රීවරු හතළිස් හයයි. මම තමයි එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය  අරන් දුන්නේත්. මමයි ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ලෙස එන්න කියලා ඔහුට කතා කළේ. මුලින්ම මම චන්ද්‍රිකා මහත්මියට කතා කළාම එතුමිය බැහැ කිව්වා. ඊට් පස්සේ තමයි මෛත්‍රීපාල මහතාට කතා කළේ. ඔහු එකග වුණා. ඔහුට ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයයි, මුස්ලිම් පක්ෂයි, ජනතා විමුක්ති පෙරමුණයි සහයෝගය දුන්නා.

නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ඇවිත් ඔහු පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්තා. ඒකට සෝභිත හාමුදුරුවොත් විරුද්ධ වුණා" යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.  එහිදී නිතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ මෙහෙයවීම යටතේ ඔහු තවදුරටත් මෙසේ සාක්ෂි දුන්නේය.

කොමිසම -  තමිල් තෙසමයක් නැතහොත් දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ගැන කතා කරන වඩුක්කොඩෙයි ප්‍රකාශය ගැන ඔබ දැනුවත් ද?

සාක්ෂිකරු - ඔව්. ඒක කරපු කාලේ මම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා හිටියේ.  ඒ වගේම මම රජයේ නීතිඥ තිරුචෙලවම් මහතා යටතේ නීතිඥවරයකු ලෙස පුහුණුව ලබමින් සිටියේ. තිරුචෙල්වම් මහතා නියෝජනය කළ ෆෙඩරල් පක්ෂය එයට විරුද්ධවයි හිටියේ. ඒ නිසා මේ පක්ෂ දෙකෙන්ම මම ඒ ගැන අවබෝධයක් ලැබුවා. 

කොමිසම - මේ ප්‍රකාශය මත වැඩ කළා නම්  ගැටලු රැසක් මතුවන්න තිබුණා නේද?


සාක්ෂිකරු - කොටසක් මේක ප්‍රතිෂ්ප කළා. කොටසක් එය පිළිගත්තා.

කොමිසම - දෙමළ ඊළමක් ඉල්ලා එල්ටීටීඊය යුද්ධයක් පටන් ගත්තේ මේ ප්‍රකාශය පදනම් කරගෙන නේද?

සාක්ෂිකරු -එල්ටීටීඊය පමණක් නොවෙයි, සංවිධාන කිහිපයක් බිහිවුණා. එල්ටීටීඊය දිගටම යුද්ධය කළා.

කොමිසම - ඔබ 2001-2004 පාලනය කාලයේ අගමැති ලෙස කටයුතු කරද්දී  සටන් විරාම ගිවිසුම්වලට |එළැබුණා නේද?

සාක්ෂිකරු - ඔව්. 2002 දී අත්සන් කළා. ඒ නිසා  දෙදහස් හතරේ චන්ද්‍රිකා මහත්මියගේ ආණ්ඩුව පත්වන විට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩපණව තිබුණා. 

කොමිසම - ඔබ ඔලුවිල් ප්‍රකාශය ගැන දන්නවා ද? එහි සඳහන් වෙනවා මුස්ලිම් ජනතාව වෙනම ජාතියක් බවත්, උතුරු නැගෙනහිර ප්‍රදේශවල මුස්ලිම් ජනතාව ජීවත්වන ප්‍රදේශ එකට එකතු කර වෙනම ස්වයං පාලන ප්‍රදේශයක් ප්‍රකාශයට පත්කළ යුතු බව, එය වෙනම මුස්ලිම් පෙත්සමක් කළ යුතු බව?

සාක්ෂිකරු - ඔලුවිල් ප්‍රකාශය කියලා ප්‍රසිද්ධියට පත්කළාට ඔය අදහස් ඊට ගොඩක් කලින්  ඇතිවුණ අදහසක්. හිටපු ඇමැති අරොෆ් මහතා මුස්ලිම් කොංග්‍රසය ඇති කළේ ඒ අදහසින්. ඒකට මොහාමඩ් හා හමීඩ් ඇමැතිවරු විරුද්ධ  වුණා.

කොමිසම - මේ ඔලුවිල් ප්‍රකාශය නිසා වඩුක්කොඩෙයි ප්‍රකාශයෙන් වගේම අනාගතයේ  ප්‍රශ්නයක් වෙයි කියලා හිතුනේ නැද්ද? ඒ කාලේ ඔබ අගමැති නේද?

සාක්ෂිකරු - මේක මම කලිනුත් කිව්වා වගේ 2003 දී ප්‍රකාශ වුණ කාරණාවක් නොවෙයි. මුස්ලිම් කොංග්‍රසය ඇති කරන කාලයේදී අෂ්රොෆ් මහතා ඉදිරිපත් කළ අදහසක්. එල්ටීටීඊය පෙනී සිටියේ උතුරු නැගෙනහිර  දෙමළ කතා කරන ජනතාවගේ නිජබිම යන සංකල්පය වෙනුවෙනුයි. ඔවුන්ගේ සටනට මුස්ලිම් ජනතාවගේ සහයෝගය ලබාගැනීම වැළැක්වීමට යුද්ධයේදී ගත හැකි උපක්‍රමයක් ලෙස මේ ඔලුවිල් සංකල්පය ඉදිරියට ගෙනියන්න එදා බුද්ධි අංශත් සහයෝගය දුන්නා. එය දේශපාලන උපක්‍රමයක් ලෙසයි භාවිත කළේ. මෙහිදී පසුගිය කාලයේ බිහි වූ ආණ්ඩු  කිහිපයක මුස්ලිම් ඇතුළු වෙනත් ජන කොටස් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සංයුතිය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් ඉදිරිපත් කරන ලදී.

කොමිසම - මෙම සංයුතිය දිහා බැලුවම ඔබට දැනෙන්නේ නැද්ද සිංහල ජනතාව නියෝජනය කරන පක්ෂවලට වෙනත් ජන කොටස්වල සිතුම් පැතුම් බලාපොරොත්තු අනුව කටයුතු කරන්න සිදුවෙන බව?

සාක්ෂිකරු - අපි එක්සත් ජාතික පක්ෂය පිහිටෙව්වේම සිංහල දෙමළ මුස්ලිම් ජනතාව  නියෝජනය කරන ශ්‍රී ලාංකික ජනතාවගේ  පක්ෂය හැටියටයි. ඒ නිසා හැම විටම අපත් සමග මෙම සියලු ජන කොටස්වලින් මන්ත්‍රීවරු පත්වුණා. අපේ පක්ෂයේ ප්‍රධාන නිලතලවලින් එකකට අනිවාර්යයෙන්ම මුස්ලිම් නියෝජනයක්  තිබුණා. එක මවකගේ දරුවෝනේ. ආනන්ද  සමරකෝන් මහතා ජාතික ගීය නිර්මාණය  කළත් එහෙමනේ.

කොමිසම - එක මවකගේ දරුවෝ එකිනෙකාට රිද්දන්නේ නැහැ නේද?

සාක්ෂිකරු - කොයි තරම් පවුල් ප්‍රශ්න තියෙනවා ද?  මෙහිදී නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ද රජයේ නීතිඥවරියගේ මෙහෙයවීම යටිත් සාක්ෂි දුන්නේය.

කොමිසම - ඔබ ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට සම්බන්ධ වුණා ද?

සාක්ෂිකරු - ඔව්. 2018 ආණ්ඩු පෙරැළියෙන් මම අමාත්‍ය ධුරයෙන් ඉවත් වන තෙක් එයට සම්බන්ධ  වුණා. හැම රැස්වීමකටම නැතත් මට දැනුම් දුන් රැස්වීම නවයන් බහුතරයකට සම්බන්ධ වුණා.

කොමිසම - හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ රැස්වීම් වල වැඩි වෙලාවක් රැඳුණේ  නැහැ කියන්නේ ඇයි?

සාක්ෂිකරු - ඔහු අනිවාර්යයෙන්ම බුද්ධි සමාලෝචනය කරන අවස්ථාවට සම්බන්ධ වුණා. ඉන්පසු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් හා උතුරු නැගෙනහිර විවිධ ප්‍රශ්න ගැන කතා කරන අවස්ථාවේදී පිටව ගියා.

කොමිසම - එම රැස්වීම්වලදී සහරාන් අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිට නියෝග කළා ද?

සාක්ෂිකරු - කිසිම අවස්ථාවක එහෙම දෙයක් වුණේ නැහැ.

කොමිසම - ඔබ පොලිසියේ ප්‍රධානීන් සමග සතිපතා රැස්වීමක් කළා ද? 

සාක්ෂිකරු - ඔව්. එහිදී ඉදිරිපත් වන විශේෂ කාරණා සම්බන්ධයෙන් අගමැතිවරයා ද සමග සාකච්ඡා කර තීරණ ගන්නවා. 

කොමිසම - ඔබ ආරක්ෂක අංශ ප්‍රධානීන් එකතු කරගෙන රැස්වීමක් කළාද?


සාක්ෂිකරු - ඔව්. 2016 ජුලි 14 වැනිදා මම  එවැනි සාකච්ඡාවක් කළා. ඒ ලෝකයේ අයිඑස් සංවිධානයේ වර්ධනයත්, එහි භයානකම ක්‍රියාකාරකම් ගැනත් දැනගත් නිසා එය ලංකාවට බලපාන්නට ඉඩ ඇති බවට දැනුණ නිසයි. මට  පළමු බුද්ධි වාර්තාව ලැබුණොත් ඉන් පසුවයි. ඒ  කියන්නේ 2016 ජුලි 20 වැනිදායි. ඉන් පසුව මට රාජ්‍ය බුද්ධි  ප්‍රධානිගෙන් බුද්ධි වාර්තා 107ක් ලැබුණා. එයින් 13ක් අයිඑස් මතවාදය සම්බන්ධව ලැබුණ අතර 6ක් ආගමික අන්තවාදය සම්බන්ධයෙන් ලැබුණා. 

කොමිසම - ඉන්දීය මහකොමසොරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඔබට බුද්ධි වාර්තාවක් ලැබුණා ද?

 සාක්ෂිකරු - ඔව්. ඉන්දීය ජනරජ දිනය ඉලක්ක කරගෙන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට අන්තවාදිගේ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් ඇති බවට 2017 ජනවාරි 20 වැනිදා  වාර්තාවක් ලැබුණා. එයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආරක්ෂක අංශවලටත් පොලිස්පතිටත් උපදෙස් දුන්නා.

කොමිසම - අයිඑස් මතවාදය අන්තර්ජාලය ඔස්සේ ලංකාවට බලපෑම් කිරීම වැළැක්වීමට ඔබ  යම් පියරක් ගත්තා ද?

සාක්ෂිකරු - ඔව්. සමාජ මාධ්‍ය නියාමනයට අවශ්‍ය පියවර ගනිමින් සිටියා. එය අවසන් කළ  නොහැකි වුණා. ඒ සඳහා නීතිපතිගෙන් පවා උපදෙස් ලබාගත්තා.

කොමිසම - ඔබ ආගමික සහජීවනයටත්  කටයුතු කළා නේද? එයින් වැඩි බරක් සහජීවනයට තිබුණා නේද?

සාක්ෂිකරු - ඔව්. ප්‍රජා පොලිස් ඒකක හරහා අපි එවැනි ක්‍රියාමාර්ගවලටත් එළැඹුණා. අයිඑස්  මතවාදයට හෝ අන්තවාදී මතවාදවලට නැඹුරුව යම් අකටයුතුකම්වල යෙදෙන අය අතරින් පුනරුත්ථාපනය කළ හැකි අය එවැනි ක්‍රියාමාර්ගවලින් දිනාගන්නා අතරේ අනෙක් අය අත්අඩංගුවට ගන්නත් අපි කටයුතු කළා. ඒ නිසා අපි සහජීවනයට වගේම නීතිය ක්‍රියාවට නැගීමටත් එක විදිහට බරක් තැබුවා.
-මුදිතා දයානන්ද-